උත්සව සමයේ බලපත්‍ර නොමැතිව මගීන් ප්‍රවාහනය කළ බස් රථ සඳහා නීතිමය ක්‍රියාමාර්ග

උත්සව සමයේ බලපත්‍ර නොමැතිව මගීන් ප්‍රවාහනය කළ බස් රථ සඳහා නීතිමය ක්‍රියාමාර්ග

April 12, 2026   11:21 am

කොළඹ Peoples Park සිට හැටන්,නාවලපිටිය,ඩයගම යන ප්‍රදේශ දක්වා ඊයේ (11) රාත්‍රියේ අනවසරයෙන් මගීන් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂණ නිළධාරීන් සහ බැස්ටියන් මාවත බස් පර්යන්තයේ රාජකාරියේ යෙදී සිටි නිළධාරීන් අදාළ ස්ථානයට ගොස් එම බස් රථ පරීක්ෂා කර තිබේ.

එහිදී සිදුකළ වැටලීමෙන් බස් රථ 7ක් අධිකරණවලට යොමුකළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක (ධාවන) ශෙරීන් අතුකෝරළ මහත්මිය පැවසීය.

මේ අතර මෙම බස් රථ මගීන්ගෙන් නියමිත ගාස්තු ඉක්මවා මුදල් අය කර ඇති අතර මගී ප්‍රවාහනය සඳහා නිසි අවසර පත්‍රයකින් තොරව ධාවනය කිරීමට සැළසුම් කර ඇත.

එහිදී වැඩදුර අදහස් දැක්වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක (ධාවන) ශෙරීන් අතුකෝරළ මහත්මිය,

"සියලුම මගී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනවසර බස් රථවල ගමන් කරන්න මේ වගේ උත්වස කාලෙක අදහස් කරන්න එපා. මොකද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් මධ්‍යම බස් නැවතුම්පොළේ, බැස්ටියන් මාවත බස් පර්යන්තයේ තුළ සහ සියලුම බස් පර්යන්තවල ඔබ වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් නීත්‍යානුකූලව අපි සූදානම් කරලා තියෙනවා. නීත්‍යානුකූල නොවන ප්‍රවාහන සේවාවක් ඔබ ලබා ගැනීමට කටයුතු කළහොත් ඔබගේ ජීවිත ගොඩක් අනතුරුදායක සහ ආනාරක්ෂිතභාවකට පත් වෙනවා. අපි ඒ වගේ බස් රථ 7ක් ඊයේ වැටලීම් කරලා ශ්‍රී ලංකා පොලීසිය එක්ක අධිකරණවලට යොමුකරා."