ගම්බිම් බලා යන ජනතාවට අදත් බස් රථ රැසක් ධාවනයට

ගම්බිම් බලා යන ජනතාවට අදත් බස් රථ රැසක් ධාවනයට

April 13, 2026   06:36 am

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් ගම් බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් අද (13) දිනයේත් මගී අවශ්‍යතාවය අනුව බස්රථ යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. 

අද දෙරණ කළ විමසීමකදී එහි සභාපති සංජීව කනගරත්න මහතා පැවසුවේ කොළඹ සිට පිට පළාත් වලට ගමන් කරන මගීන්ගේ අඩුවක් ඊයේ පස්වරුව වන විට දක්නට ලැබුණ බවය. 

කෙසේ වෙතත් ගත වූ දින කිහිපය තුළ දෛනිකව ධාවනය වන බස්රථ කාලසටහනට අමතරව 1500ක අතිරේක බස්රථ ප්‍රමාණයක් කොළඹ සිට පිට පළාත් වෙත ධාවනය කිරීම සදහා සූදානම් කර තිබුණු බවද ඒ මහතා සඳහන් කළේය. 

එහෙත් අද දිනයේ මගී අවශ්‍යතාවය පරිදි බස්රථ යෙදවීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර හෙට දිනයේ නෑගම් බලා යන ජනතාවට ප්‍රාදේශීය ඩිපෝවලින් අවශ්‍යතාවය පරිදි බස්රථ ධාවනය කරන බවද ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සංජීව කනගරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

එමෙන්ම අද සහ හෙට යන දෙදින තුළ මගී අවශ්‍යතාවය අනුව බස්රථ යෙදවීම  සිදු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේය. 

මේ අතර අද දිනයේ සහ හෙට දිනයේ දුම්රිය ධාවනය ද සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

කොළඹ සිට පිට පළාත්වලට යාම සදහා ඊයේ පස්වරුවේ සිට අඩු මගීන් සංඛ්‍යාවක් නිරීක්ෂණය වූ බැවින් මෙම පියවර ගත් බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංග සමරසිංහ මහතා පැවසීය. 

කෙසේ වෙතත් කොළඹ සිට පිට පළාත් වෙත ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියන්, තැපැල් දුම්රියන් සහ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියන් සියල්ල සාමාන්‍ය පරිදි ධාවනය වන බවද ඔහු සඳහන් කළේය. 

මේ අතර පොල්ගහවෙල, කොස්ගම, අවිස්සාවේල්ල, පුත්තලම සහ ගාල්ල සිට කොළඹ දක්වා අත්‍යවශ්‍ය රාජකාරී සදහා පැමිණෙන ජනතාව වෙත දුම්රිය යොදවා ඇති අතර කොළඹ සිට යළි එම ප්‍රදේශ දක්වා ද මෙම දුම්රියන් ධාවනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංග සමරසිංහ මහතා පැවසීය.