අවුරුදු සමයේ අනතුරු 42ක් - මරණ 44ක්
April 16, 2026 11:56 am
අප්‍රේල් 10 සිට 15 දක්වා කාලය තුළ දිවයින පුරා මාර්ග අනතුරු 42ක් වාර්තා වී ඇති අතර, ඒ හේතුවෙන් පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, අවුරුදු දින තුනවූ අප්‍රේල් 13, 14 සහ 15 යන දිනවල පමණක් අනතුරු 19ක් වාර්තා වී ඇති අතර, එම අනතුරු වලින් 19 දෙනෙකු මියගොස් ඇති බවයි.
වාහන වර්ග අනුව අනතුරු විශ්ලේෂණය කිරීමේදී යතුරුපැදි අනතුරු 16ක් ලෙස ඉහළම සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ත්‍රිරෝද රථ 4ක්, වෑන් රථ 4ක්, මෝටර් රථ 2ක්, කැබ් රථ 2ක්, පාපැදි 2ක් සහ හප්පා පලායෑම් සිද්ධියක් ද ඇතුළත් බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
එමෙන්ම 2025 වසරේ අවුරුදු දින තුන තුළ අනතුරු 25ක් සහ මරණ 26ක් වාර්තා වූ අතර, මේ වසරේ එම සංඛ්‍යාව 19 දක්වා පහළ බැස ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
මෙම අනතුරු සඳහා ප්‍රධාන හේතුව ලෙස බීමත්ව රිය පැදවීම හඳුනාගෙන ඇති බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා වැඩිදුරටත් පැවසීය.
