හෝමූස්හී දී සිය නෞකාවලට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි කනස්සල්ල
April 18, 2026 09:57 pm
හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉන්දීය ධජය සහිත වෙළෙඳ නෞකා දෙකකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාව ඉරාන රජය වෙත සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ.
මේ පිළිබඳව කරුණු විමසීම සඳහා නවදිල්ලියේ සිටින ඉරාන තානාපතිවරයාව අද (18) සන්ධ්‍යාවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැඳවා තිබුණි.
එහිදී ඉන්දීය විදේශ ලේකම්වරයා සහ තානාපතිවරයා අතර විශේෂ හමුවක් පැවැත්විණි.
වෙළෙඳ නෞකාවල සහ නාවිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාව දක්වන ප්‍රමුඛතාවය මෙහිදී විදේශ ලේකම්වරයා අවධාරණය කර ඇති බව සඳහන් වේ.
ඉන්දියාව බලා පැමිණෙන නෞකාවල ආරක්ෂිත ගමනාගමනය සඳහා මීට පෙර ඉරානය ලබා දුන් සහයෝගය ඔහු මෙහිදී සිහිපත් කර ඇත.
වෙළෙඳ නෞකාවලට වෙඩි තැබීම බරපතළ තත්ත්වයක් බව පෙන්වා දුන් විදේශ ලේකම්වරයා, මේ පිළිබඳව ඉන්දීය රජයේ ස්ථාවරය වහාම ඉරාන බලධාරීන්ට දැනුම් දෙන ලෙස තානාපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
ඉන්දියාව බලා එන නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමේ ක්‍රියාවලිය හැකි ඉක්මනින් යළි ආරම්භ කරන ලෙසද ඉන්දියාව ඉරානයෙන් ඉල්ලා ඇත.
ඉන්දීය රජයේ මෙම කරුණු පිළිබඳව තම රජයේ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන බවට ඉරාන තානාපතිවරයා මෙහිදී එකඟතාව පළ කර තිබේ.
