වෙසක් පොහොයට දන්සල් පවත්වන පාර්ශ්වයන්ට PHI වෙතින් දැනුම්දීමක්

වෙසක් පොහොයට දන්සල් පවත්වන පාර්ශ්වයන්ට PHI වෙතින් දැනුම්දීමක්

April 24, 2026   01:35 pm

එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත දන්සල් මේ වන විට  ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කේ.පී. බොරලැස්ස මහතා පැවසුවේ ඒ අනුව දන්සල් පැවැත්වීමට අදහස් කරන පාර්ශ්වයන් මේ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර එම දන්සල ලියාපදිංචි කරන ලෙසත්ය.

එහිදී දන්සල පවත්වන ස්ථානය සහ කුමන ආකාරයේ දන්සලක්ද යන්න අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙසද ඒ මහතා මෙහිදී අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක්ද සිදු කළේය.

අදාළ ලියාපදිංචි කිරීමෙන් අනතුරුව සියලු දන්සල් සංවිධායකවරුන් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සෞඛ්‍යාරක්ෂිතව දන්සලක් පවත්වාගෙන යෑම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඒ මහතා සඳහන් කළේය. 

කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හමුවේ ලියාපදිංචි නොවී මෙන්ම සෞඛ්‍යාරක්ෂිත නොවන අන්දමට දන්සල් පවත්වන්නන් සම්බන්ධව නීත්‍යානුකූලව කටයුතු කිරීමට නියමිත බවද ඒ මහතා මෙහිදි අදහස් දක්වමින් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කේ.පී බොරලැස්ස මහතා,

"දන්සල පැවැත්වීමට පෙර දිනයේ ඔබ දන්සල පවත්වන ස්ථානය, දන්සල පවත්වන් සුදුසු ස්ථානයක්ද, එම ස්ථානයේ කසළ බැහැර කිරීමට, පානිය ජලය, ආහාර පිසීම සඳහා භාවිත කරන ජලය, සහ උපකරණවල තත්ත්වය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිරන්තර පරීක්ෂාවට ලක් කරනවා. ඒ වගේම මෙම ස්ථානවල ආහාර පරිහරණය කරන පුද්ගලයින්, ආහාර පිසින පුද්ගලයින්, ආහාර පිළියෙල කරන පුද්ගලයින් ආදී මේ සියලු පුද්ගලයින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂාවට ලක් කරනවා. මේ සියලු දේවල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකරන්නේ අපේ ප්‍රජාවට ඔබ දන්සල මාර්ගයෙන් සිදුකරන ආහාර සෞඛ්‍යාරක්ෂිතව ලබා දීම සඳහා. විශේෂයෙන්ම දන්සල්වල ආහාර පිසීම සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න. සෞඛ්‍යාරක්ෂිත අමුද්‍රව්‍ය පමණක් ඔබ භාවිතයට ගන්න."