මුහුදුබඩ දුම්රියට වාද්දූව පහු කරන්න දින 2ක් ගතවන ලකුණු

මුහුදුබඩ දුම්රියට වාද්දූව පහු කරන්න දින 2ක් ගතවන ලකුණු

April 24, 2026   02:55 pm

පීලි පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර දින දෙකක් ඇතුළත් එහි ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මගීන්ට අපහසුතාවයක් නොවන අන්දමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බවය.

මේ පිළිබඳව අදහස් දක්වන  දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය,

''අලාභ හානි වෙච්ච දුම්රිය අපිට ලොකු පාඩුවක්..මොකද දුම්රිය බල ඇණිය අපේ අඩුයි.. ඒ අලාභය අපිට තියනවා.. ඒකත් ඉක්මනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා... නමුත් ඒ වෙනුවෙන් අපිට දුම්රියක් යොදන්න වෙනවා.. ඒ සඳහා සාකච්ඡාවන් මේ වන විට සිදුවෙමින් පවතිනවා.. ''

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය අද (24) උදෑසන පීලි පැනීමකට ලක්ව තිබුණේ වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේදීය.

පීලි පැනීමෙන් දුම්රිය ද්විත්ව මාර්ගයෙන් එක් මාර්ගයකට දැඩි හානි සිදුවිය.

මෙම පීලි පැනීමෙන් අවහිර වූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු කොළඹ සිට පානදුර දුම්රිය ස්ථානය දක්වා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ගෙන ඇත.

එතැන් සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ යොදා ගනිමින් දුම්රිය මගීන් දකුණු කළුතර දුම්රිය ස්ථානය දක්වා ප්‍රවාහනය කරනු ඇති බවත් එතැන් සිට මාතර හා බෙලිඅත්ත දක්වා දුම්රිය ධාවනය සිදු කිරීමටත් පියවර ගෙන ඇති බවද එම දෙපාර්තමේන්තුව පැවසීය.

එමෙන්ම අද සවස් කාලය ගතවිමට පෙර දුම්රිය මාර්ගයේ අවහිරයන් ඉවත් කර එක් මාර්ගයක් දුම්රිය ධාවනය සඳහා යෙදවීමට අවශ්‍ය පියවර ගනිමින් සිටන බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය. 

මේ අතර දුම්රිය මාර්ගය අවහිරවීම හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ජාතික ගමනාගමන කොමිසම සමඟ එක්ව බස් රථ මඟින් දුම්රියේ ගමන් කරන මගීන් ප්‍රවාහනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ එක්ව පියවර ගෙන ඇත. 

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් නව කාලසටහනක් ද ප්‍රකාශයට පත් කර තිබේ.