බාධා වූ මුහුදුබඩ දුම්රිය ධාවනයට විකල්ප ලෙස ලංගම බස් රථ
April 24, 2026 04:16 pm
අද (24) උදෑසන සිදුවූ සාගරිකා දුම්රිය පිලී පැනීමෙන් මතුව ඇති මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා විකල්ප ලෙස ලංගම බස් රථ යෙදවීමට පියවර ගෙන ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සංජීව කනකරත්න මහතා පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ඉදිරි ප්‍රවාහන කටයුතු සම්බන්ධව විශේෂ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඒ අනුව අද පස්වරු 04.45ට කොටුව දුම්රි ස්ථානයේ සිට බෙලිඅත්ත, මාතර, ගාල්ල දක්වා බස් රථ 03ක්ද සවස 05.00ට අම්බලන්ගොඩ, හික්කඩුව දක්වා බස් රථ දෙකක්ද. හවස 06.15ට ගාල්ල දක්වා බස් රථ 03ක් ද ලබා දී ඇති බව ඒ මහතා මෙහිදී පැවසීය.
අදාළ බස් රථවල ගමනාගමනය සඳහා දුම්රිය වාර ප්‍රවේශපත්‍රයක් හෝ දුම්රිය ප්‍රවේශපත්‍රයක් අත්‍යාවශ වනු ඇති බවත් සඳහන් කළ ඒ මහතා වෙනත් කිසිදු මුදලක් අදාළ මගීන්ගෙන් අය නොකරන බවද සඳහන් කළේය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සංජීව කනකරත්න මහතා,
"අපි දහවල් 2ට ගාල්ල, බෙලිඅත්ත දක්වා බස් රථ 02ක් ලබා දීලා තිබෙනවා. ඒ වගේම හවස 04ට මාතර දක්වා බස් රථයක් ලබා දීලා තිබෙනවා. මේ බස් රථ කොටුව දුම්රිය ස්ථානයටම ගිහිල්ලා මගීන්ව අරගෙන අදාළ ගමනාන්තය දක්වා මගීන්ව ගෙනියනවා. මේකට කිසිදු මගියෙක් අතරමගින් ගන්නේ නැහැ. මේක දුම්රිය මගීන් සඳහාම විශේෂිත බස් රථ සේවාවක්. ඊට පස්සේ 04.45ට බස් රථ 03ක් ලබා දීලා තිබෙනවා. ඒවාවල ගමනාන්ත වෙන්නේ කොටුව දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත, මාතර, ගාල්ල. ඒ වගේම හවස 5ට අම්බලන්ගොඩ, හික්කඩුව දක්වා බස් රථ සේවාවන් දෙකක් ලබා දීලා තිබෙනවා. ඉන් පසුව අවසාන බස් රථ සේවාව හවස 6.15ට ගාල්ලට බස් රථ 03ක් ලබා දීලා තිබෙනවා. සම්පූර්ණයෙන්ම මෙම සේවාව දුම්රිය වාර ප්‍රවේශපත්‍රය සහ දුම්රිය ප්‍රවේශපත්‍රයක් සහිත අයට. අමතරව මගීන්ගෙන් කිසිදු මුදලක් අය කරන්නේ නෑ"
