හැකර්වරුන්ට මුදල් ගෙවීම ගැන හොයන්න කාරක සභාවක් පත් කරන්නැයි සජිත් ඉල්ලයි 

හැකර්වරුන්ට මුදල් ගෙවීම ගැන හොයන්න කාරක සභාවක් පත් කරන්නැයි සජිත් ඉල්ලයි 

April 25, 2026   04:04 pm

මහා භාණ්ඩාගාරය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවන පාර්ශ්වයේ ගිණුමකට ගෙවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

එහි සභාපති සහ බහුතරය විපක්ෂය නියෝජනය කළ යුතු බව ද ඒ මහතා අවධාරණය කළේය.

වත්මන් ආණ්ඩුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සොරකම සිදු කළා පමණක් නොව එය පාර්ලිමේන්තුවෙන්, මුදල් කාරක සභාවෙන් සහ ජනතාවගෙන් සගවා ඇති බව සජිත් ප්‍රේමදාස මහතා කීය. 

මේ වනවිට අදාළ වරද නිලධාරීන් වෙත පටවමින් ඒ ආයතනය තුළම පරීක්ෂණයක් සිදු කරන බවත් එය පක්ෂග්‍රාහී ක්‍රියාවක් බවත් මේ අවස්ථාවේ පූර්ණ නිගමන සනාථ කරන පරීක්ෂණ නොව විනිවිදභාවයෙන් යුක්ත පරීක්ෂණයක් අවශ්‍ය බවත් ඔහු පැවසීය.

එම පරීක්ෂණය සිදුකළ හැක්කේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් බවත් එහි සභාපති සහ බහුතරය විපක්ෂයෙන් සමන්විය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මෙම අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක අස්ථානගතවීම පාර්ලිමේන්තුවෙන් වසන් කිරීම බරපතළ චෝදනාවක් බව ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.