කොල්ලකරුවන් පැහැරගත් නෞකාවක ශ්‍රී ලාංකිකයෙකුත් සිටින බවට තොරතුරු

කොල්ලකරුවන් පැහැරගත් නෞකාවක ශ්‍රී ලාංකිකයෙකුත් සිටින බවට තොරතුරු

April 25, 2026   05:21 pm

මුහුදු කොල්ලකරුවන් විසින් සෝමාලියානු වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී පැහැරගත් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින් අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

17 දෙනෙකුගෙන් සමන්විත නෞකා කාර්ය මණ්ඩලයට ශ්‍රී ලාංකිකයෙකු, පකිස්තාන ජාතිකයින් 10දෙනෙකු, ඉන්දුනීසියානු ජාතිකයින් සිව්දෙනෙකු සහ ඉන්දිය ජාතිකයෙකු මෙන්ම මියන්මාර ජාතිකයෙකු ද අයත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්ධන බැරල් 18,500ක් ප්‍රවාහනය කරමින් තිබූ අදාළ නෞකාව පසුගිය බදාදා රාත්‍රියේ සෝමාලියානු වෙරළට නාවික සැතපුම් 30ක් පමණ දුරින් යාත්‍රා කරමින් තිබියදී තුවක්කුකරුවන් පිරිසක් සිය භාරයට ගෙන තිබූ බව සඳහන්.

මේ වන විට එම නෞකාව සහ කාර්යය මණ්ඩලයේ 17දෙනා මුහුදු කොල්ලකරුවන්ගේ පාලනය යටතේ සෝමාලියානු වෙරළට ආසන්නව නැංගුරම් ලා ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් සෝමාලියානු බලධාරීන් හෝ සෝමාලියානු මුහුදු තීරයේ මුහුදු කොල්ලකෑම් මර්දනය කරන මෙහෙයුම් අධීක්ෂණය කරන යුරෝපීය නාවික හමුදාව මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.

මේ සම්බන්ධයෙන් විමසීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු සම්බන්ධ කරගැනීමට අද දෙරණ උත්සාහ කළ ද එය ව්‍යවර්ථ විය.