SF රාජුගේ නිවසින් හමුවූ ගිනිඅවිය ගැන තවත් තොරතුරු රැසක්
April 25, 2026 09:34 pm
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණියේ සුද්දාගේ සහෝදරයා වන SF රාජු නමැත්තාගේ ගෙවත්තේ සිදුකළ සෝදිසියකදී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ තොගයක් අද (25) පෙරවරුවේ සොයාගෙන තිබුණි.
පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පැවසුවේ, SF රාජු විසින් මෙහෙයවන ලද ඝාතන රැසකට මෙම ගිනි අවිය භාවිත කර ඇතැයි සැකකරන බවය.
එමෙන්ම මෙම සැකකරු සමග සමීප සබඳතා පවත්වන නීතිඥවරයෙකු සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේය.
සංවිධානාත්මක අපරාධකරුවකු වන කරන්දෙණියේ සුද්දාගේ සහෝදරයා වන සෝබනහන්දි සනත් ද සිල්වා හෙවත් SF රාජු ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පසුගියදා දිවයිනට රැගෙන එනු ලැබීය.
දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කෙරෙන සැකකරු පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඔහුගේ නිවසට අද උදෑසන රැගෙන එනු ලැබූ අතර ගෙවත්තේ වළලා තිබූ පිස්තෝලයක්, මැගසින් එකක් සහ උණ්ඩ 15ක් එහිදී සොයා ගනු ලැබූ අතර එය රුසියාවේ නිෂ්පාදිත, මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් ද වේ.
සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ තමා ඝාතන 15ක් පමණ මෙහෙයවා ඇති බවද සැකකරු පිළිගත් බව විමර්ශකයන් සඳහන් කළේය.
විමර්ශන නිලධාරීන් මෙම නිවස පරීක්ෂා කිරීමට පැමිණියහොත් ඔවුන් පැමිණෙන වාහනවල රෝද සිදුරු කිරීම සඳහා ඇණ සවිකළ ලෑලිද දමා තිබූ බවද පොලිසිය මෙහිදී පැවසුවේය.
බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී සිරිදත් ධම්මික මහතා ඝාතනයද SF රාජු විසින් මෙහෙයවා ඇති අතර, සිය සහෝදරයා වන කරන්දෙණියේ සුද්දා බන්ධනාගාරගතව සිටින අවධියේ සිරිදත් ධම්මික මහතා ඔහුව දැඩි ලෙස පරීක්ෂා කිරීම ඊට හේතුව බවද ඔහු පවසා ඇත.
එලෙස සිදුකළ දැඩි පරීක්ෂා කිරීම් හේතුවෙන් කරන්දෙණිය සුද්දාට නිසි ආහාර පාන පවා ලැබී නැති බවත්, ඔහු බැලීමට පැමිණෙන පිරිස්ද සිරිදත් ධම්මික මහතා විසින් දැඩි ලෙස පරීක්ෂාවට ලක්කර ඇති බවත් සැකකරු මෙහිදී පවසා තිබේ.
මේ අතර, SF රාජු විසින් හික්කඩුව සහ මීටියාගොඩ යන ප්‍රදේශවල ඝාතන සිදුකළ ස්ථාන කිහිපයක් විමර්ශන නිලධාරීන්ට පෙන්වා ඇත.
දුම්පානය හෝ මත්ද්‍රව්‍ය භාවිත නොකරන පුද්ගලයෙකු වන සැකකරු විමර්ශන නිලධාරීන් හමුවේ පිළිගෙන ඇත්තේ, සිය සහෝදරයා වන කරන්දෙනිය සුද්දා භාරගන්නා ඝාතන කොන්ත්‍රාත්තු තමා මෙහෙයවූ බවටය.
එමෙන්ම පවුල් ආරවුල් මත ඔවුන්ගේ ඥාතීන් කිහිපදෙනෙකුද මොහු ඝාතනය කර ඇතැයි පොලිසිය සඳහන් කළේය.
මේ අතර SF රාජු සමග සමීප සබඳතා පවත්වන නීතිඥයෙකු සම්බන්ධයෙන් ද මෙහිදී අනාවරණ වී ඇති අතර, එම නීතිඥයා අපරාධවලට ආධාර අනුබල දුන්නේදැයි සහ වෘත්තිය ආචාරධර්මවලට පටහැනිව සැකකරු සමග සබඳතා පැවැත්වූයේදැයි විමර්ශන ක්‍රියාත්මක බවද පොලීසිය පැවසීය.
පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කරන්දෙණිය සුද්දාගේ සහ SF රාජුගේ ගිනි අවි සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් රහසිගතව එම තොරතුරු ලබාදෙන ලෙසය.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ ඍජු අධීක්ෂණයෙන්, නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීමෙන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා විසින් සිදු කරනු ලබයි.
