පාකිස්තාන ගමන අවලංගු කරන ලෙසට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් උපදෙස්
April 25, 2026 09:55 pm
මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් නිරාකරණය කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා සඳහා පාකිස්තානයට නොයන ලෙසට අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් ස්ටීව් විට්කොෆ් සහ ජෙරාඩ් කුෂ්නර් හට උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
සාම සාකච්ඡාව සඳහා ඔවුන් අද (25) දින පාකිස්තානය බලා යාමට සැලැසුම් කරමින් සිටින බවට මාධ්‍ය වාර්තා පළවිය.
කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය නියෝජිතයින්ට ප්‍රකාශ කර ඇත්තේ, අදාළ සංචාරය සිදු නොකරන ලෙසටය.
කිසිදු සාකච්ඡාවක් නොකර සිටීමට පැය 18ක ගුවන් ගමනක් අනවශ්‍ය බව ඔවුන්ට ප්‍රකාශ කළ බව ඩොනල්ට් ට්‍රම්ප් Fox News වෙත ප්‍රකාශ කර තිබේ.
ඉරානයේ විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස ඊයේ (24) දින පාකිස්තානයේ සංචාරයක නිරත වූ අතර එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, අමෙරිකාව සමඟ සාකච්ඡා වටයක් සඳහා තම පාර්ශ්වය සූදානම් නොමැති බවය.
ඒ අනුව එම දූත පිරිස අද (25) දින පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර හමුවක් පවත්වා එරටින් පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
