15 හැවිරිදි දැරියකගේ ගබ්සාව ගැන ඉන්දීය  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මධ්‍යම රජයට දෝස්මුරයක්

15 හැවිරිදි දැරියකගේ ගබ්සාව ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මධ්‍යම රජයට දෝස්මුරයක්

April 30, 2026   12:47 pm

දූෂණයට ලක්වූ 15 හැවිරිදි දැරියකගේ සති 31ක කළලය ගබ්සා කිරීම සඳහා ලබාදුන් නියෝගයට එරෙහිව ඉන්දීය මධ්‍යම රජය ඉදිරිපත් කළ පෙත්සම එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කර ඇත.

කාන්තාවන්ට තම ශරීරය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය තහවුරු කරමින්, පවතින පැරණි නීති වහාම වෙනස් කළ යුතු බව අධිකරණය අවධාරණය කළේය.

දූෂණයකට ලක්වූ අවස්ථාවකදී ගබ්සාව සඳහා පනවා ඇති කාල සීමාවන් (නීතිමය වශයෙන් පවතින සති 24 සීමාව) අදාළ නොවිය යුතු බව අධිකරණය පැවසීය.

රජය විසින් පුරවැසියන්ගේ, විශේෂයෙන්ම වින්දිත දැරියගේ සහ ඇයගේ පවුලේ තීරණවලට ගරු කළ යුතු බවත්, එයට අභියෝග කිරීමට රජයට අයිතියක් නොමැති බවත් විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේය.

"මෙම දැරිය විඳින පීඩාව කිසිදු දෙයකින් වන්දි ගෙවිය නොහැකි එකක්. සෑම විනාඩියකම ඇය දරා සිටින්නේ ඒ වේදනාවයි. වින්දිත දරුවා සහ කළලය අතර සටනකදී, දරුවාට ගෞරවාන්විතව ජීවත් වීමට ඉඩ දිය යුතුයි," යනුවෙන් අධිකරණය පැවසීය.

කෙසේ වෙතත් ඉන්දීය රජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය තර්ක කළේ සති 31ක් යනු ගබ්සාවක් සිදු කිරීමට ඉතා ප්‍රමාද වැඩි කාලයක් බවය. එහිදී දරුවා ජීවතුන් අතර සිටිය හැකි නමුත් දැඩි විකෘතිතා සහිතව උපත ලැබිය හැකි බවත්, එය මවගේ ජීවිතයට ද අවදානමක් විය හැකි බවත් ඇය පෙන්වා දී ඇත.

දරුවා ප්‍රසූත කර දරුකමට හදා ගැනීමට දීම වඩාත් සුදුසු බව රජයේ මතය විය.

මීට පෙර මෙම නඩුව විභාග කළ විනිසුරුවරිය ප්‍රකාශ කළේ, බලහත්කාරයෙන් දරුවා ප්‍රසූත කිරීමට දැරියට බල කිරීම ඇයගේ මූලික අයිතිවාසිකම් සහ ගෞරවාන්විතව ජීවත් වීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් බවය. මෙම දැරිය ඒ වන විටත් දෙවරක් සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබූ අතර, ඇය දැඩි මානසික කම්පනයකින් පසු වන බව අධිකරණය නිරීක්ෂණය කළේය.

මෙම ඓතිහාසික තීන්දුවත් සමඟ, දූෂණයට ලක්වූ වින්දිතයන් සඳහා ඉන්දියාවේ ගබ්සා නීතිය වඩාත් නම්‍යශීලී සහ මානුෂීය වනු ඇති බවට බව පැවසේ.