පිරිවෙන් සා.පෙළ විභාගයේ නැවත සමීක්ෂණයට අයදුම්පත්‍ර කැඳවයි
May 5, 2026 03:33 pm
2025 (2026) පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය කිරීම සඳහා වන අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ කර තිබේ.
ඒ අනුව ලබන 21 වෙනිදා දක්වා ඒවා මාර්ගගත ක්‍රමයට පමණක් යොමු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අදාළ අයදුම්පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් සහ නිල ජංගම දුරකථන යෙදවුම් හරහා යොමු කළ හැකිය.
එක් විෂයක් සඳහා නැවත සමීක්ෂණ ගාස්තුව රුපියල් 200ක් වන අතර හර පතක්, ණය පතක් භාවිත කර හෝ තැපැල් කාර්යාල මගින් ගෙවීම් සිදු කළ හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
මුදල් ගෙවීමේදී අයදුම්කරු විසින් මාර්ගගත ක්‍රමවේදයට අනුව ලබා ගන්නා ලද යොමු අංකය ඉදිරිපත් කළ යුතුය.
මුදල් ගෙවීමෙන් අනතුරුව ලබා දුන් ජංගම දුරකතන අංකයට කෙටි පණිවුඩයක් ලැබෙන අතර මුදල් ගෙවීමේ අවස්ථාව ලබා දෙන්නේ එක් වරක් පමණක් වන බැවින් මුදල් ගෙවන ආකාරය තෝරා ගැනීමට පෙර නැවත සමීක්ෂණ සඳහා අයදුම් කිරීමට අපේක්ෂිත සියලු විෂයන් තෝරාගත යුතු බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
මුදල් ගෙවීමෙන් අනතුරුව අයදුම්පත PDF ක්‍රමයට භාගත කරගෙන පරිවේණාධිපති/ප්‍රධානාචාර්ය නිර්දේශය සහිතව විභාග කොමසාරිස් ජනරාල්, ආයතනික විභාග ඇගයීම් ශාඛාව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, තැ.පෙ. 1503, කොළඹ යන ලිපියට යොමු කළ යුතුය.
නැවත සමීක්ෂණය සිදු කිරීමට අවශ්‍ය සියලු විෂයන් සහිත නිවැරදි අයදුම්පත ඉදිරිපත් කිරීමට අයදුම්කරුගේ වගකීම වන බව විභාග දෙපාර්තමේන්තුව අවාධරණය කරයි.
අදාළ ගාස්තු ගෙවා නොමැති අයදුම්පත් කිසිදු දැනුම්දීමකින් තොරව ප්‍රතික්ෂේප කරන බවත් අයදුම්පත සඳහා ගෙවා ඇති ගාස්තු ගෙවා ඇති ගාස්තු ආපසු නොගෙවන බවත් විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු 011 - 27 85 105 හෝ 011 27 86 235 යන අංකවලින් ලබා ගත හැකිය.
