පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

May 12, 2026   05:38 pm

පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර මහත්මිය පවසයි.

අද (12) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් වෛද්‍යවරිය පැවසුවේ මෙම වසරේ ඊයේ (11) දිනය වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 27,754ක් වාර්තා වූ බවත් එම රෝගීන් අතුරින් මරණ 14ක්ද සිදුව ඇති බවත්ය.

මෙම රෝගීන් අතුරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර මීට අමතර කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර සහ නුවර දිස්ත්‍රික්කවලින්ද රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබේ.

කෙසේ නමුත් දිස්ත්‍රික්ක 25න්ම රෝගීන් වාර්තා වීම සිදුවන බවත් පෙන්වා දුන් වෛද්‍යවරිය පැවසුවේ මෝසම් වැසි සක්‍රීය වීමත් සමගම රෝගීන්ගේ වර්ධනයක් සිදුවීමේ ප්‍රවණතාවයක්ද පවතින බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කර ප්‍රදේශ සහ පරිශ්‍ර පිරිසිදුව පවත්වා ගැනීම සිදුකළ යුතු බවද වෛද්‍යවරිය මෙහිදි පෙන්වා දුන්නාය.

උණ සමග මස්පිඩු වේදනාව, හිසරදය, වමනය, ඔක්කාරය, ශරීරයේ රතු පැහැති ළප හටගැනීම, වැනි රෝග ලක්ෂණ හෝ මෙවැනි රෝග ලක්ෂණ අවම වශයෙන් දෙකක් හෝ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු මුණ ගැසී තමන්ගේ රෝග ලක්ෂණ සම්බන්ධව වෛද්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසත් වෛද්‍යවරිය මෙහිදී මහජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කළාය.

වෛද්‍යවරිය පැවසුවේ නිවෙස්වලට සාපේක්ෂව පාසල්, වැඩබිම්, ආගමික ස්ථාන, රාජ්‍ය සහ පෞද්ගලික ආයතවල මදුරුවන් බෝවීම ඉහළ ගොස් ඇති බැවින් ඉතා නොසැලකිමත් ලෙස මදුරුවන් බෝ විය හැකි ස්ථාන දිගින් දිගටම පවත්වාගෙන යන්නේ නම් නීතිමය පියවර ගැනීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත අවශ්‍ය බලතල ලබා දී ඇති බවය.

මදුරුවන් බෝ වන ස්ථාන සඳහා වැඩිවශයෙන්ම බලපාන හේතුවක් බවට පත්ව ඇත්තේ නිසි පරිදි කසළ බැහැර නොකිරීම බැවින් ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කර මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කර දැමීම සියලු පාර්ශවයන්ගේ වගකීමක් බවද වෛද්‍යවරිය මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළාය.