අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි
May 13, 2026 09:09 pm
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වූ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පස්වරුවේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ පවුල් 26,517කට අයත් පුද්ගලයන් 90,667ක් පීඩාවට පත්ව ඇති අතර, පූර්ණ හානි වූ සහ අධි අවදානම් සහිත නිවාස හේතුවෙන් පවුල් 3,434ක් නැවත පදිංචි කළ යුතුව තිබේ.
දැනට පෞද්ගලික සමාගම් සතු රජයේ ඉඩම් කඩිනමින් නිදහස් කරගෙන, ජනතාව පදිංචි කිරීමේ කටයුතු ආරම්භ කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. වෙනත් ස්ථානයක පදිංචි වීම පිළිබඳ දෙගිඩියාවෙන් පසුවන්නන්ට තීරණයක් ගැනීම සඳහා ජුනි 15 දක්වා සහන කාලයක් ලබා දී ඇත.
මියගිය පුද්ගලයන් වෙනුවෙන් වන්දි, නිවාස කුලී, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන සහ ජීවනෝපාය අහිමි වූවන් සඳහා වන්දි ගෙවීමේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී කරුණු විමසීය.
වගා බිම්වල තැන්පත් වී ඇති වැලි සහ ගල් ඉවත් කිරීම සඳහා අක්කරයකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමටත්, ඒ සඳහා ගොවි සංවිධානවල දායකත්වය ලබා ගැනීමටත් තීරණය විය.
මාර්ග සංවර්ධන අධිකාරියට අයත් හානි වූ මාර්ග 21හි වැඩකටයුතු මේ වසර තුළ අවසන් කරන ලෙස නිලධාරීන්ට නියෝග කෙරිණි.
"ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී කිසිසේත් මුදල් බාධාවක් කර නොගන්න. මේ වසර තුළ පීඩාවට පත් ජනතාව සාමාන්‍ය තත්ත්වයට පත් කර, ලබන වසරේ සිට දිස්ත්‍රික් සංවර්ධන සැලසුම් යළි ආරම්භ කිරීමට සූදානම් වන්න." යනුවෙන්ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට ප්‍රකාශ කළේය.
