අඩු පීඩන කලාපය තවදුරටත් - කාලගුණයෙන් දැනුම්දීමක්

අඩු පීඩන කලාපය තවදුරටත් - කාලගුණයෙන් දැනුම්දීමක්

May 14, 2026   02:46 pm

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව හෙට (15) දිනයට අදාළව අද (14) ප.ව. 2ට නිකුත් කළ නවතම නිවේදනයේ මේ බව සඳහන්ය.

කෙසේ නමුත් ඉදිරි පැය 48 තුළ එම පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

ඌව පළාතේ ඇතැම් ස්ථානවලට හෙට (15) පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.