මූල්‍ය සේවා සපයන්නන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මහ බැංකුවෙන් කළමනාකරණ පද්ධතියක්

මූල්‍ය සේවා සපයන්නන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මහ බැංකුවෙන් කළමනාකරණ පද්ධතියක්

May 15, 2026   04:27 pm

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන්නන් සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට ඇති පැමිණිලි හා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම පහසු කිරීම සඳහා මාර්ගගත පැමිණිලි කළමනාකරණ පද්ධතියක් හඳුන්වාදීමට මහ බැංකුව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනුයේ මහ බැංකුවේ නියාමන රාමුව තුළ පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලියේ වගවීම, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙම මාර්ගගත පැමිණිලි කළමනාකරණ පද්ධතිය හඳුන්වා දී ඇති බවය.

මෙම පද්ධතිය තුළින් මූල්‍ය පාරිභෝගිකයින්ට තම පැමිණිලි විධිමත් සහ ප්‍රමිතිගත ආකාරයකින් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන අතර එමගින් එම පැමිණිලි වඩාත් ඵලදායී ලෙස නියාමනය කිරීමටත් නියමිත කාලය තුළ නිරාකරණය කිරීමටත් සහාය වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබේ.

මේ තුළින් මුද්‍රිත ලියවිලි පදනම් කරනු ලබන ක්‍රියාකාරකම් අවම කරන අතර ක්‍රියාවලියේදී සිදුවන ප්‍රමාදයන් මගහරවා ගනිමින් පැමිණිලි කළමනාකරණ කටයුතු වඩාත් විධිමත් කරනු ඇති බවත් මෙම පද්ධතිය පැය 24 පුරා ක්‍රියාත්මක වන බැවින් මූල්‍ය පාරිභෝගිකයින්ට සිය පැමිණිලි තමන්ට පහසු ඕනෑම වේලාවක යොමු කිරීමට අවස්ථාවද ලැබෙනු ඇත.

තවද තමන් ඉදිරිපත් කළ පැමිණිලිවල වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය පිළිබඳව දැනගැනීමට මූල්‍ය පාරිභෝගිකයින්ට හැකියාව ලබා දෙන අතර ඒ තුළින් තම පැමිණිලි නිරාකරණ ක්‍රියාවලිය පුරා ඉහළ විනිවිදභාවයක් ද සහතික කෙරෙණු ඇත.

මහ බැංකුව සිය නිවේදනය මගින් සඳහන් කරනුයේ මුල් අවස්ථාවේදී මූල්‍ය පාරිභෝගිකයින් විසින් සිය පැමිණිලි හා දුක්ගැනවිලි සෘජුවම අදාළ මූල්‍ය සේවා සපයන්නන් වෙත යොමු කළ යුතු බවත් එම පැමිණිලි මූල්‍ය සේවා සපයන්නන් විසින් විසඳීමට අපොහොසත් වුවහොත් හෝ ඔවුන්ගේ ප්‍රතිචාර පිළිබඳව පාරිභොගිකයින් විසින් සෑහිමකට පත් නොවන විට එම පැමිණිලි මෙම මාර්ගගත පැමිණිලි කළමනාකරණ පද්ධතිය තුළින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවය.

කාර්යක්ෂම ලෙස පද්ධතියෙහි කටයුතු සිදු කිරීම පහසු වණු පිණිස ඉදිරිපත් කරනු ලබන සියලු තොරතුරුවල පැහැදිලිතාව, නිවැරදිභාවය සහ සම්පූර්ණ බව සහතික කරන ලෙසත් ඊට අදාළ සියලුම ලියකියවිලි ඉදිරිපත් කරන ලෙසත් මෙම පද්ධතිය භාවිත කරන සියලු පාර්ශ්වයන් වෙත මහ බැංකුව උපදෙස් ලබා දීමක්ද සිදුකර තිබේ.

ඒ අනුව මෙම පැමිණිලි කළමනාකරණ පද්ධතියට https://reachus.cbsl.lk/ යන සබැඳියෙන් පිවිසිය හැකි බවත් පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනුයේ ඒ අනුව මූල්‍ය පාරිභෝගිකයින් හට සිට පැමිණිලි මාර්ගගතව මේ සඳහා ඉදිරිපත් කළ හැකි බවය.