බාල්දුවෙන රුපියල බේරගන්න හැටි ඇමති විජිත පෙන්වයි
May 19, 2026 04:01 pm
ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම ඉදිරියේදි කළමනාකරණය කරගත හැකිවෙනු ඇතැයි අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අද (19) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවෙන් සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් රට තුළට පැමිණීමට නියමිතව ඇති බැවින් මෙන්ම ආනයන සීමා කිරීම මගින් මෙම තත්ත්වය කළමනාකරණය කිරීමට රජයට හැකියාව ලැබෙනු ඇති බවය.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය මත ඉදිරියේදී ආනයනික භාණ්ඩ මිල සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බැවින් මේ හේතුවෙන් සමස්ත ආර්ථිකයේ භාණ්ඩ මිල ඉහළ යා හැකි අවධානමක් පවතින බවත් ඒ පිළිබඳව රජය විසින් ගැනීමට නියමිත ක්‍රියාමාර්ග සම්බන්ධව යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
"අපි බලමු IMF එකත් හෙට අනිද්දා තව ඩොලර් මිලියන 700ක් විතර ලබා දෙන්න නියමිතව තිබෙනවා. අපි හිතනවා ඒක ලැබෙයි කියලා. ඒ වගේම ADB එක තව මිලියන 200ක් ලබා දෙන්න නියමිතව තිබෙනවා. ඒකත් එක්ක තව ඩොලර් ප්‍රමාණයක් රට තුළට එනවා. ඒ වගේම ආනයන සීමා කිරීම හරහා ඩොලර් පිටට යාම යම් පාලනයක් වෙනවා. අනිත් පැත්තෙන් ඩොලරයේ විචලනයත් එක්ක අපනයන ආදායමෙත් වැඩිවීමක් තිබෙනවා. මේ සියල්ල සැලකිල්ලට අරගෙන තමයි මේ කළමනාකරණය කරලා තියෙන්නේ. අපි හිතනවා මේ තත්ත්වය මගින් කළමනාකරණය කරගන්න පුළුවන් වෙයි කියලා."
