රුසියානු ප්‍රහාරක ජෙට් යානාවලින් බ්‍රිතාන්‍ය ඔත්තු බැලීමේ යානයකට දැඩි බාධා

රුසියානු ප්‍රහාරක ජෙට් යානාවලින් බ්‍රිතාන්‍ය ඔත්තු බැලීමේ යානයකට දැඩි බාධා

May 20, 2026   11:37 pm

පසුගිය මාසයේදී කළු මුහුදට ඉහළ ගුවන් සීමාවේදී අවි රහිත බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් ඔත්තු බැලීමේ යානයකට, රුසියානු ප්‍රහාරක ජෙට් යානා දෙකක් "දිගින් දිගටම සහ අතිශය භයානක ලෙස" බාධා කර ඇති බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

බ්‍රිතාන්‍යයට අයත් 'Rivet Joint' වර්ගයේ නිරීක්ෂණ යානය අසලට පැමිණි රුසියානු 'Su-35' වර්ගයේ ප්‍රහාරක යානයක්, එහි හදිසි අනතුරු ඇඟවීමේ පද්ධති ක්‍රියාත්මක කරවීමට සහ ස්වයංක්‍රීය නියමු පද්ධතිය අක්‍රීය කිරීමට තරම් සමීප වී ඇත.

මීට අමතරව තවත් රුසියානු 'Su-27' වර්ගයේ ජෙට් යානයක් බ්‍රිතාන්‍ය යානයේ ඉදිරිපසින්  මීටර් හයක්  තරම් ඉතා ආසන්නයෙන් හය වතාවක්ම පියාසර කර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ජෝන් හීලි , රුසියානු නියමුවන්ගේ මෙම "පිළිගත නොහැකි" හැසිරීම හමුවේ බ්‍රිතාන්‍ය ගුවන් හමුදා කාර්ය මණ්ඩලය පෙන්වූ "විශිෂ්ට වෘත්තීයභාවය" අගය කර තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයට අනුව මෙය 2022 වසරෙන් පසු රුසියාව විසින් සිදු කරන ලද වඩාත්ම අවදානම් සහගත ගුවන් මැදිහත්වීම මෙය බව සඳහන් වේ.

සිද්ධිය දැඩි ලෙස හෙළා දකිමින් ආරක්ෂක ලේකම්වරයා පවසා ඇත්තේ,

"මෙම සිදුවීම ජාත්‍යන්තර ගුවන් සීමාවේ ධාවනය වූ අවි රහිත ගුවන් යානයකට එරෙහිව රුසියානු නියමුවන් විසින් සිදු කරන ලද අනතුරුදායක සහ පිළිගත නොහැකි හැසිරීම් පිළිබඳ තවත් එක් උදාහරණයක් පමණයි. මෙම ක්‍රියාවන් නිසා බරපතළ අනතුරු මෙන්ම තත්ත්වය තවදුරටත් උග්‍ර වීමේ අවදානමක්ද නිර්මාණය වෙනවා." යනුවෙනි.

කෙසේ වෙතත් මෙම සිදුවීම නිසා රුසියානු ආක්‍රමණවලින් නේටෝ සංවිධානය, සිය මිත්‍ර රටවල් සහ බ්‍රිතාන්‍යයේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට ඇති කැපවීම කිසිසේත් අඩාල නොවන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සහ විදේශ අමාත්‍යාංශය එක්ව බ්‍රිතාන්‍යයේ පිහිටි රුසියානු තානාපති කාර්යාලයෙන් ඉල්ලා ඇත්තේ මෙම සිදුවීම හෙළා දකින ලෙසය.

මෙම බාධා කිරීම් සිදුව ඇත්තේ කලාපය තුළ රුසියානු ආක්‍රමණශීලී ක්‍රියාකාරකම් වර්ධනය වී ඇති පසුබිමක වන අතර, මෑතකදී උතුරු මුහුදේ  පිහිටි බ්‍රිතාන්‍යයේ තීරණාත්මක මුහුදු යටිතල පහසුකම් අසල රුසියානු සබ්මැරීන ගැවසුණු බවද ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.

මීට පෙර 2022 සැප්තැම්බර් මාසයේදීද මෙවැනිම සිදුවීමක් වාර්තා වූ අතර, එහිදී රුසියානු නියමුවෙකු විසින් බ්‍රිතාන්‍යයේ 'Rivet Joint' යානයකට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර එය බිම හෙළීමට උත්සාහ කර තිබුණි. එකල රුසියාව ප්‍රකාශ කර ඇත්තේ එය "තාක්ෂණික දෝෂයක්" නිසා සිදුවූවක් බවටය.

බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය එකල එම පැහැදිලි කිරීම ප්‍රසිද්ධියේ පිළිගත්තද, පසුව බටහිර ආරක්ෂක අංශ තහවුරු කළේ රුසියානු භූමි පාලන මධ්‍යස්ථානයකින් ලැබුණු අපැහැදිලි නියෝගයක් හේතුවෙන් රුසියානු නියමුවා සැබවින්ම එම ප්‍රහාරය එල්ල කර ඇති බවය.

RC-135W Rivet Joint යානය යනු,   බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ අංක 51 බලඝණය මඟින් ක්‍රියාත්මක වන අතර මෙම යානා සතුව ඇති දියුණු සංවේදක  මඟින් විද්‍යුත් චුම්බක වර්ණාවලිය පුරා ඇති සංඥා ග්‍රහණය කර විශ්ලේෂණය කරනු ලබයි.

 එමඟින් Real-time උපායමාර්ගික සහ උපක්‍රමශීලී බුද්ධි තොරතුරු සැපයීම සිදු කෙරේ.