අම්පාර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

අම්පාර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

May 22, 2026   02:08 pm

අම්පාර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (22) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඒ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතින්හි සහ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන්හි ප්‍රගතිය විමසා බැලීමේ අරමුණිනි.

වසර ගණනාවකට පෙර ආරම්භ කර ඉදිකිරීම් අතරමග නැවතුණු නින්දවුර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමද අද (22) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

පොහොසත් සංස්කෘතික උරුමයක් සහිත අම්පාර දිස්ත්‍රික්කයේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරමින් මතු පරපුරට දායාද කිරීමේ අරමුණ ඇතිව මෙම සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් නැවත ඇරඹීම වෙනුවෙන් 2026 වසර සඳහා රුපියල් මිලියන 300ක අයවැය ප්‍රතිපාදන වෙන් කෙරිණි. 

ව්‍යාපෘතිය සදහා සමස්ත ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 945.04ක් වන අතර ඉදිකිරීම් 2027-12-31 දින අවසන් කිරීමට නියමිතය.

එමෙන්ම, අම්පාර නගරයේ දීර්ඝකාලීන අඩුපාඩුවක් සුපරාලමින් අම්පාර බහුකාර්ය නගර ශාලාවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමද අද (22) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

රුපියල් මිලියන 1,744.85ක වියදමින් සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය 2028.12.31 දින අවසන් කිරීමට නියමිතය.