අගමැති හරිනි සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් අතර හමුවක්

අගමැති හරිනි සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් අතර හමුවක්

May 22, 2026   04:13 pm

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලන්ඩනයේ මාල්බරෝ මන්දිරයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය ජාතීන්ගේ මහලේකම් Shirley Ayorkor Botchwey මහත්මිය හමුව තිබේ.

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩලයේ 43 වන රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍යවරිය එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර සිදුකරන නිල සංචාරය අතරතුර මෙම හමුව පවත්වා ඇත.

මෙහිදී අග්‍රාමාත්‍යවරිය පොදුරාජ්‍ය මණ්ඩලීය රාමුව තුළ දෙපාර්ශවය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

එමෙන්ම මෙම හමුවේදී අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලය විසින් ලබා දෙන සහයෝගයට කෘතඥතාව පළ කළ අතර, පොදුරාජ්‍ය මණ්ඩලයේ භූමිකාව සහ කාර්යක්ෂමතාව තවදුරටත් ශක්තිමත් කරමින් මහලේකම්වරිය ලබාදෙන නායකත්වය පැසසුමට ලක් කළාය.

ප්‍රධාන වශයෙන් දේශගුණික විපර්යාස, දේශගුණික මූල්‍යකරණය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, කාන්තා දේශපාලන සහභාගීත්වය සහ සාමාජික රටවල් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයේ සහයෝගය යන කරුණු කෙරෙහි අවධානය යොමු වු අතර පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය විසින් ලබා දෙන අඛණ්ඩ මැදිහත්වීම සහ සහයෝගය අගය කළ අග්‍රාමාත්‍යවරිය රටේ පවත්නා ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම, තිරසාර සංවර්ධනය ඇතුළත් පාලනය සඳහා ශ්‍රී ලංකාවේ ඇති කැපවීම නැවත වරක් තහවුරු කර ඇත.

මේ අතර තාක්ෂණික සහාය, මානව සම්පත ශක්තිමත් කිරීමේ වැඩසටහන් සහ දේශගුණික මූල්‍යකරණය හා මැතිවරණ පාලනය ඇතුළු ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදීමට සූදානමින් සිටින බව මහලේකම්වරිය මෙහිදී අවධාරණය කළා ය.

එමෙන්ම මෙහිදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය වැඩසටහන් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගෙන ඇති අතර ගෝලීය අභියෝගයන්ට මුහුණදීම සඳහා සාමාජික රාජ්‍යයන් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද අවධාරණය කළහ.