දැඩි උෂ්ණාධික කාලගුණය ඉන්දියාවේ 16 දෙනෙකුට දිවි අහිමි කරයි

දැඩි උෂ්ණාධික කාලගුණය ඉන්දියාවේ 16 දෙනෙකුට දිවි අහිමි කරයි

May 24, 2026   03:37 pm

ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති දැඩි උෂ්ණාධික කාලගුණය 'Heatwave' හේතුවෙන් මේ වන විට එරට දකුණු ප්‍රදේශයේ පුද්ගලයන් 16 දෙනෙකු හීට්ස්ට්‍රෝක්' හෙවත් අධික උෂ්ණත්වය නිසා සිදුවන ආඝාත තත්ත්වයෙන් මියගොස් ඇත.

මේ වන විට එරට සෞඛ්‍ය අංශ විසින් මේ සම්බන්ධයෙන් නිල නිවේදන ද නිකුත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ඉන්දියාවට දැඩි ගිම්හාන කාලගුණය අලුත් දෙයක් නොවන නමුත්, විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ දේශගුණික විපර්යාස හේතුවෙන් මෙම උෂ්ණාධික තත්ත්වයන් දිගුකාලීන, නිරන්තර සහ වඩාත් දැඩි ස්වරූපයකින් හටගන්නා බවය.

බිලියන 1.4 ක ජනගහනයක් වෙසෙන ඉන්දියාවේ නගර කිහිපයක උෂ්ණත්වය මෑතකදී සෙල්සියස් අංශක 45 සීමාවට වඩා බෙහෙවින් ඉහළ ගොස් තිබුණි.

මෙම මරණ වාර්තා වී ඇත්තේ දකුණු ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයෙන් වන අතර, මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා ප්‍රාන්තය පුරා "දැඩි අවධානයකින්" පසුවන ලෙසට ප්‍රෙද්ශ වාසීන්ට දැනුම් දී ඇත.

සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ අධික උෂ්ණත්වය හේතුවෙන් ශරීරය විජලනය විය හැකි අතර, එමඟින් රුධිරය ඝන වීම සහ වඩාත් බරපතළ තත්ත්වයන් යටතේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ක්‍රියාවිරහිත වීම පවා සිදුවිය හැකි බවය.

එබැවින්  අත්‍යවශ්‍ය කටයුත්තකට හැර දහවල් කාලයේදී පිටතට යාමෙන් වළකින ලෙස තෙලන්ගානා ප්‍රාදේශීය රජය වැඩිහිටියන්, ළමුන් සහ ගර්භණී මව්වරුන්ට උපදෙස් දී තිබේ.

මෙම සතිය මුලදී, ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රටේ ප්‍රදේශ කිහිපයක සාමාන්‍ය මට්ටමට වඩා වැඩි උෂ්ණත්වයක් සහ දැඩි උෂ්ණාධික තත්ත්වයක් පවතිනු ඇති බවට පුරෝකථනය කර තිබුණි.

අගනුවර වන නව දිල්ලිය සහ ඒ අවට නගරවල උෂ්ණත්වය මෙම සතිය පුරාම සෙල්සියස් අංශක 40 ට වඩා ඉහළ මට්ටමක පැවති අතර, මේ හේතුවෙන් විදුලි පරිභෝජනය ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.

දහවල් කාලයේ පවතින දැඩි දැවිල්ලට අමතරව, රාත්‍රී කාලයේ පවතින අවම උෂ්ණත්වය ද ඉහළ මට්ටමක පැවතීම නිසා ජනතාවට ඉන් මිදීමට සහනයක් ලැබී නැත.

ලොව වැඩිම ජනගහනයක් සහිත රට වන ඉන්දියාව, හරිතාගාර වායු වැඩිම ප්‍රමාණයක් පිට කරන ලොව තුන්වන රට වන අතර බලශක්ති උත්පාදනය සඳහා ඔවුන් ගල්අඟුරු දහනය කිරීම මත බෙහෙවින් යැපේ.

කෙසේ වෙතත්, කාර්මික බටහිර රටවල් බොහොමයකට වඩා දශක දෙකකට පසුව, එනම් 2070 වන විට ශුන්‍ය විමෝචන (Net-Zero emissions) ආර්ථිකයක් ළඟා කර ගැනීමට ඉන්දියාව කැපවී සිටී.

ඉන්දියාවේ නිල වශයෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය සෙල්සියස් අංශක 51 ක් වන අතර, එය 2016 වසරේදී රාජස්ථානයේ පලෝඩි  ප්‍රදේශයෙන් වාර්තා විය.