හජ් උත්සවය අදයි - දිවයින පුරා විශේෂ ආරක්ෂාවක්
May 28, 2026 05:57 am
ලොව පුරා මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන හජ් උත්සවය අදට (28) යෙදී තිබේ.
ඉස්ලාමීය මාස ක්රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේදී පවත්වන උත්සවය මෙම නමින් හැඳින්වෙයි.
ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු ප්රධාන වගකීම් පහ අතරින් අවසන් වගකීම හජ් වන්දනාව වෙයි.
ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්රධාන අරමුණය.
සෞදි අරාබියේ මක්කම පැවැත්වෙන හජ් වන්දනාව හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකෙයි.
මේ අතර හජ් උත්සවය වෙනුවෙන් පොලීසිය විසින් විශේෂ ආරක්ෂක සහ රථ වාහන වැඩපිළිවෙලක් ක්රියාත්මක කර තිබේ.
ඒ අනුව විශේෂ යාඥාවන් පැවැත්වෙන සියලුම ප්රධාන මුස්ලිම් පල්ලි සහ අවට ප්රදේශ ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් ආරක්ෂාව සඳහා යෙදවීමට පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
එමෙන්ම මුස්ලිම් පල්ලි අවට අධික රථ වාහන තදබදයක් ඇති වීම වැළැක්වීම සහ බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසු කිරීම සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්රියාත්මක කර තිබේ.
මේ අතර බන්ධනාගාර ගත රැදවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් අද (27) දිනයේ ලබාදී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව බන්ධනාගාර ගත රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර සහ රසකැවිලි එක් රැඳවියෙකුට පමණක් ප්රමාණවත් වන පරිදි ලබාදීමට ද අවස්ථාව සලසා දී තිබේ.
