අවසන් තීරණයක් ගැනීමට ට්‍රම්ප් ධවල මන්දිරයේ සාකච්ඡාවක
May 29, 2026 09:54 pm
ඉරානය සමඟ පවතින ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් ගිවිසුමකට අත්සන් තැබීමට තමන් තවමත් සූදානම් නැති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහුගේ 'ටෲත් සෝෂල්' ගිණුමෙහි සටහනක් තබමින් ඔහු කියා සිටියේ, මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා ධවල මන්දිරයේ දී සිය උපදේශකවරුන් සමග මේ වනවිට විශේෂ සාකච්ඡාවක් පවත්වමින් සිටින බවය.
හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට සහ න්‍යෂ්ටික සාකච්ඡා ආරම්භ කිරීමට තාවකාලික එකඟතාවයකට පැමිණ තිබිය දී ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇත.
කෙසේවෙතත් අවසාන ගිවිසුමක් සඳහා වන අතිරේක කොන්දේසි ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.
ඉරානය කිසිවිටෙකත් න්‍යෂ්ටික ආයුධයක් හෝ බෝම්බයක් ළඟ තබා නොගන්නා බවට ප්‍රතිඥා දීම සහ නාවික ගමනාගමනය සඳහා කිසිදු බද්දක් හෝ සීමාවකින් තොරව හෝමුස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කිරීම එම කොන්දේසි අතරට ඇතුළත් වේ.
