සීමාව පැන ජය සැමරූ ප්‍රංශ ක්‍රීඩාලෝලීන්

සීමාව පැන ජය සැමරූ ප්‍රංශ ක්‍රීඩාලෝලීන්

May 31, 2026   02:04 pm

UEFA චැම්පියන්ස් ලීග් අවසන් මහා තරගයෙන් ආසනල් කණ්ඩායම පරාජය කරමින් පැරිස් සෙන්ට්-ජර්මේන් (PSG) කණ්ඩායම ලැබූ විශිෂ්ට ජයග්‍රහණයෙන් පසු, පැරිස් අගනුවර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. 

ආවේගශීලීව හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී ලෙස ජය සැමරූ ක්‍රීඩාලෝලීන් 400කට අධික පිරිසක් මේ වනවිටත් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හංගේරියාවේ Puskás Aréna හිදී ඊයේ (මැයි 30) පැවති මෙම තීරණාත්මක තරගයේ නියමිත කාලය අවසන් වනවිට කණ්ඩායම් දෙකම ගෝල 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවිය. 

ඒ අනුව ජයග්‍රාහකයන් තේරීම සඳහා ලබාදුන් දඬුවම් පහර අවස්ථාවේදී 4-3ක් ලෙස තියුණු ජයක් වාර්තා කිරීමට PSG කණ්ඩායම සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමඟ පසුගිය වසරේ ශූරයන් වූ PSG කණ්ඩායම මෙවරද තමන් සතු ශූරතාව රැකගැනීමට සමත්විය.

වසර 71ක චැම්පියන්ස් ලීග ඉතිහාසය තුළ PSG කණ්ඩායම ශූරතාව දිනා ඇත්තේ මෙම අවස්ථා දෙකේදී පමණක් වීම විශේෂත්වයක්ය.

ජයග්‍රහණයෙන් උද්දාමයට පත් ප්‍රංශ ක්‍රීඩාලෝලීන් පැරිස් අගනුවර වීදි ආක්‍රමණය කළ අතර, එය ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගත්තේය.

බස්, දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවාවලට දැඩි ලෙස බාධාකළ ක්‍රීඩාලෝලීන් අනතුරුදායක ලෙස ගිනිකෙළි සහ ගිනිදැල් දල්වමින් හැසිරී ඇත.

ඒ හේතුවෙන් නොසන්සුන්තාව මැඩපැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් දහස් ගණනක් යෙදවීමට සිදුවූ අතර, ක්‍රීඩාලෝලීන් සමඟ ඇතිවූ ගැටුම්වලින් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුම තුවාල ලබා තිබේ.

ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිස් විසුරුවා හැරීම සඳහා පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදුවිය.

PSG කණ්ඩායම පසුගිය වසරේ ශූරතාව දිනාගත් අවස්ථාවේදීද ප්‍රංශය තුළ මෙවැනිම ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන තිබුණි.