සුරේෂ් සලේගේ මෝසම කැඳවයි
June 4, 2026 03:40 pm
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විශේෂඥ මානසික වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස කෙරුණු ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 10 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුකරය අද (04) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී මෝසම පිළිබඳ කරුණු දැක්වූ සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2026 වසරේ මාර්තු මස 24 වනදා මෙම අධිකරණයේ පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි සිය සේවාදායකයා පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව ඔහු පිළිබඳව වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස නියෝගයක් නිකුත් කළ බව සඳහන් කළේය.
ඒ අනුව මේ සැකකරු අධිකරණ මානසික වෛද්‍ය , පෝෂණවේදී, අක්ෂි වෛද්‍ය යනාදී වෛද්‍ය විශේෂඥයින් වෙත ඉදිරිපත් කර තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
"එම වෛද්‍ය මණ්ඩලය විසින් ඉදිරිපත් කළ වාර්තාවේ වෛද්‍යවරු විසින් කර තිබෙන නිර්දේශ මේ දක්වා ක්‍රියාත්මක වී නෑ. පෝෂණ වේදී වෛද්‍යවරයා ඔහුට දිය යුතු ආහාර ලැයිස්තුවක් දීලා තිබෙනවා. විනාඩි 30ක් එළියට දාන්න කියලත් තියෙනවා. ඒවා ක්‍රියාත්මක වෙලා නෑ. ඔහු අත්අඩංගුවට පත්වීමට පෙර මානසික රෝගී තත්ත්වයක් තිබුණේ නෑ. ඔහු දැන් දැඩි මානසිකව පීඩනය සහ දැඩි සාංකාව වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වෙලා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු සියදිවි නසා ගැනීම වැනි ප්‍රවණතාවයකට යොමු විය හැකියාව තිබෙන බවත් වෛද්‍යවරු සඳහන් කර තිබෙනවා." යනුවෙන් ප්‍රකාශ කළේය.
වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා "ස්වාමීනි.. මේ වෛද්‍ය වාර්තාව අනුව පැහැදිලියි ඔහු වධ හිංසාවට භාජනය වී තිබෙන බව. ඒ වෛද්‍ය වාර්තාවේ ස්ථාන හතක ඒ පිළිබඳව සඳහන් වෙනවා. දැන් ඔහු රඳවාගෙන සිටින ස්ථානය ආරක්ෂිත නොවන බවත් එහි සඳහන් වෙනවා. එම ස්ථානයේ රෝගියාව කළමනාකරණය කිරීමට නොහැකි නිසා ප්‍රතිකාර ලබාදීමටත් හැකියාවක් නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරු සිය නසා ගැනීමේ සම්භාවිතාවය උග්‍ර වී තිබෙන බවත් වෛද්‍යවරු සිය වාර්තාවේ ප්‍රකාශ කර තිබෙනවා. ස්වාමීනි... මේ අවස්ථාවේ ඔහු සිටිය යුත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නෙවෙයි. රෝහලක තමයි ඔහු සිටිය යුත්තේ. මේක අපේ අදහසක් නෙවෙයි. ස්වාධීන වෛද්‍ය මතයක්." යනුවෙන් සඳහන් කළේය.
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා "ස්වාමීනි... මේ සැකකරු මානසික වෛද්‍ය පරීක්ෂණයේදී සඳහන් කරලා තිබෙනවා මම ඉන්නේ අඩි හයයි හතරේ කාමරයක කියලා. එතන මීයන්ගෙන් කරදර තිබෙනවා. විදුලි පංකාවක් නෑ. සුදු පාට ඇඳුම් ඇඳගත්ත පිරිසක් ඇවිල්ලා මට ඇඳුම් ඉවත් කරන්න කිව්වා. ඊට පස්සේ සියලු රැඳවියන් ඉදිරිපිට පරීක්ෂාවට ලක් කලා. මට අත් දික් කරන්න කිව්වා. ඉතිරි දේවල් කියන්න ලැජ්ජයි. මම සතෙක්ද? අවුරුදු තිස් හතක් රාජ්‍ය සේවයේ හිටපු නිලධාරියෙක්. මට නෝට් බුක් එකක් දෙන්නෙ නෑ. විමර්ශන නිලධාරීන් හොඳට සලකනවා. ඒක මට සහනයක්." යනුවෙන් ප්‍රකාශ කර ඇති බවත් පැවසුවේය.
මේ පුද්ගලයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුට මානසික වශයෙන් රෝගී තත්වයක් තිබුණේ නැති බවත් වර්තමානයේ ඔහු සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේදී ඔහු ස්ථිර වශයෙන්ම වධ හිංසා වලට භාජනය වී ඇති බව මෙම වෛද්‍ය වාර්තාව මගින් පෙනී යන බවත් අවධාරණය කළේය.
මෙම තත්ත්වය යටතේ කෲර වධ හිංසාවට එරෙහි සම්මුති පනත යටතේ විමර්ශන නිලධාරීන්ගේ අත්අඩංගුවේදී යම් පුද්ගලයෙකු වධ හිංසාවලට භාජනය වන අවස්ථාවක එම පුද්ගලයා වෙනත් ස්ථානයක රඳවා තබන ලෙස නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයෙකුට බලය තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
මෙම තත්ත්වය පොලිස්පතිවරයාට වාර්තා කරන ලෙසත් පොලිස්පතිවරයා මේ සිද්ධිය පිළිබඳ විමර්ශනය කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඉන් පසුව නීතිපතිවරයා ස්වාධීනව කරුණු පරීක්ෂා කර බලා වධ හිංසනයට වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරිය යුතු බවත් සඳහන් කර සිටියේය.
කෙසේ වෙතත් අද නීතිපතිවරයා පෙනී සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ බවත් එය කනගාටුදායක තත්ත්වයක් යැයි ඔහු පෙන්වා දුන්නේය.
එම නිසා මෙහිදී සාධාරණයක් ඉටුවේද යන සැකය මතුවන බවත් මෙවැනි ක්‍රියා හරහා නීතිපති දෙපාර්තමේන්තුවටම මහජනතාව අතර අපකීර්තියට පත්වන බවත් ඔහු පැවසුවේය.
ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් "ස්වාමීනි...මේ වෛද්‍ය මණ්ඩලය මේ සැකකරු පරික්ෂා කළේ මැයි මස හතර වනදා. වාර්තාව ඉදිරිපත් කළේ මැයි මස 18 වනදා. මේ සැකකරුව සෑම බදාදා දිනයකම ඔහුගේ නීතිඥවරු හමුවෙනවා. බිරිඳ සහ දරුවා මුණගැසෙනවා. ඒ වගේම සෑම සිකුරාදා දිනකම ස්ථාවර දුරකතනයෙන් මේ සැකකරුට ඔහුගේ බිරිඳට දරුවා සහ මවට කතා කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ඉතින් ජනාධිපති නීතිඥවරයා සඳහන් කරන ආකාරයට මේ සැකකරුට වධ හිංසා සිදු කරලා තිබුණා නම් ඔහු ඒ බව ඔවුන්ට ප්‍රකාශ නොකළේ ඇයි? මේක කුමන්ත්‍රණකාරී ලෙස ඉදිරිපත් කළ මෝසමක්. අද සුරේෂ් සලේ ගේ රිට් පෙත්සම අභියාචනාධිකරණයේ කැඳවනවා. ඒ නිසයි මේ මෝසම ඊයේ ඉදිරිපත් කළේ. මේ හරහා අද දින අභියාචනාධිකරණය ඔවුන්ගේ වේදිකාවක් බවට පත් කරගන්ඩ උත්සාහ කරලා තිබෙනවා." යනුවෙන් පැවසුවේය.
වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා "මේ මානසික වෛද්‍ය වාර්තාව සම්පූර්ණයෙන්ම මා ප්‍රතික්ෂේප කරනවා. මේ වාර්තාව දීපු වෛද්‍යවරයාට එරෙහිව අධිකරණ නියෝගයකුත් තියෙනවා. මේ සැකකාර සුරේෂ් සලේ මේ වෛද්‍ය පරීක්ෂණයට මුහුණ දීලා තිබෙන්නේ හඬමින්. ස්වාමීනි මේගොල්ලෝ බුද්ධි අංශ නිලධාරීන්. යුද්දෙට ගිහිල්ලා වෙඩි තියපු අය නෙවෙයි. මේගොල්ලෝ මිනිස්සුන්ගේ මොල හෝදන කට්ටිය. 2017 - 2019 කාලසීමාව තුළ ස්වයං ඝාතක බෝම්බ කරුවන් 08 දෙනෙකු බැලන්ස් කරපු පුද්ගලයෙක් මෙයා. එහෙම පුද්ගලයෙක් හඬයි ද? ස්වාමීනි. මොහු පතෝල කරලක් නෙවෙයි. ස්වාමීනි.. මොහු හොඳ රංගන ශිල්පියෙක්. ඔහුට ඔස්කාර් සම්මානය දෙන්න ඕනා. ඔහු වෛද්‍යවරුන්ට ප්‍රකාශ කරලා තිබෙනවා පිරිසක් ඇවිල්ලා ඔහුගේ ඇඳුම් ගලවන්න කිව්වා කියලා. පස්සේ පිරිසක් කකුල් වලට පහර දුන් බවත් ඔහු කියලා තියෙනවා. ඉතුරු ටික කියන්න ලැජ්ජයි කියලත් සඳහන් කරලා තියෙනවා. ඒත් පහර දුන්නේ කවුද කියලා කියලා නෑ. ඔච්චර දෙයක් කිව්වට පස්සේ තවත් මොනවද ලැජ්ජ වෙන්න තියෙන්නේ ස්වාමීනි. වෛද්‍ය වාර්තාවේ සඳහන් වනවා ඔහුට කෙටි අමතක වීම් තිබෙන බවට. මේක සාමාන්‍ය තත්වයක්. ඕනෑම අපරාධකාරයෙකුට ඒක තියෙනවා. සී අයිඩී අත්අඩංගුවේ ඉන්නකොට එයාලට මතක නෑ. එළියට ආවට පස්සේ මතක තියෙනවා. එනිසා මේවා පිළිගන්න බැහැ" යනුවෙන් පැවසුවේය.
වැඩිදුරත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා සුරේෂ් සලේ මහතාගේ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවේ දක්වා තිබෙන කරුණු ගැනද කරුණු ඉදිරිපත් කළේය.
"ස්වාමීනී.... මේ පුද්ගලයාට අව පීඩනය, කාංසාව වැනි රෝගී තත්ත්වයන් තිබෙන බව වෛද්‍ය වාර්තාවේ සඳහන් කරලා තිබෙනවා. මේවා සාමාන්‍යයෙන් අපරාධකරුවකුට තිබෙන රෝගී තත්ත්වයන්. මේක නිර්මාණය කරපු වෛද්‍ය වාර්තාවක්. ඔහුට කිසිම රෝගයක් නෑ. අත්අඩංගුවේදී ඔහුට එග් රයිස්, බිත්තර රොටි, ෆිශ් ඔයිල්, කිරි පැකට් ,කිරි ටොපි සේරම ලබා දීලා තියෙනවා. ඒවා එකක්වත් කියන්නේ නෑ. මේ වාර්තාව ඉදිරිපත් කළ වෛද්‍යවරයාගේ වාර්තාවක් පිලිගන්න බෑ. මීට පෙර ටිකිරි ජයතිලක විනිසුරුතුමා ඔහුගේ වාර්තාවක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. " යනුවෙන් කියා සිටියේය.
වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, "මේ සැකකරු වෛද්‍ය පරීක්ෂණයේදී ප්‍රකාශ කරලා තිබෙනවා "ආයේ මට එතනට යන්න බෑ. මට මැරෙන්න හිතෙනවා" යනාදී වශයෙන්. ස්වාමීනි... මේක සාමාන්‍යයෙන් ඕනෑම අපරාධ කරයෙකුට පවතින මානසික තත්ත්වයක්. සියදිවි නසා ගැනීමේ මානසිකත්වයක් එනවා. ඇතැම් අය මේ පුද්ගලයාව සියදවි නසවා ගැනීමේ තත්ත්වයට පත් කරන්න උත්සාහ කරනවා අපි ඒකට ඉඩ දෙන්නේ නෑ. අධිකරණයට ඉදිරිපත් කර තිබෙන මේ වෛද්‍ය වාර්තාවේ වෛද්‍යවරු අත්සන් කරලත් නෑ. අධිකරණ වෛද්‍ය නිලධාරියා මේ සැකකරු පරික්ෂාවට ලක් කරලත් නෑ. අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ අත්සනත් නැහැ." යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා තමන්ට මෙම වෛද්‍ය වාර්තාව පිළිගත නොහැකි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මාර්ගයෙන් නව වෛද්‍ය වාර්තාවක් මෙම සැකකරු සම්බන්ධයෙන් කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් අවසානයේදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉන් අනතුරුව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් "ස්වාමීනී... සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්රවයා මාර්ගයෙන් කැඳවන වාර්තාවක් අපට පිළිගන්න බෑ. මොකද ඔහු දේශපාලන පත්වීමක්. වාර්තාවක් කැඳවනවා නම් අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් වාර්තාවක් කැඳවිය යුතුයි. අනික මේ මෝසම පිටුපස කිසිම කුමන්ත්‍රණයක් නෑ." යනුවෙන් සඳහන් කළේය.
ඉන් අනතුරුව කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය සහ වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ අද දින අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙන වෛද්‍ය වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ඉදිරිපත් කළ වාර්තාවක් නොවන බව පැවසුවේය.
මෙම පුද්ගලයාට ඇතැයි කියන රෝගී තත්ත්වයන් සාමාන්‍ය අත්අඩංගුවට පත්වන ඕනෑම පුද්ගලයෙකුට පවතින මානසික තත්ත්වයක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මේ සැකකරු සිදුකර තිබෙන කටයුතුවල හැටියට මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි බවත් සඳහන් කළේය.
සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම නඩුව යළි ලබන 10 වනදා කැඳවීමට නියම කළ අතර එදින මෙම ඉල්ලීම් සම්බන්ධ නියෝගය නිකුත් කරන බවත් පැවසුවේය.
