ඩෙංගු මර්ධනයට අද සිට විශේෂ දින 3ක්

ඩෙංගු මර්ධනයට අද සිට විශේෂ දින 3ක්

June 8, 2026   07:23 am

ඩෙංගු මර්ධනය සදහා දින 3ක විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්ධන ඒකකය කටයුතු කර තිබේ.

ඒ අනුව අද (08) හෙට (09) සහ අනිද්දා (10) යන දිනයන් තුළ එම වැඩසටහන ක්‍රියාත්මක වන බව එම ඒකකය සඳහන් කර සිටී.

දිස්ත්‍රික්ක 12කට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 72ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම ඩෙංගු මර්ධන විශේෂ වැඩසටහන ක්‍රියාත්මක වේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව පසුගිය ජුනි 5වැනිදා වනවිට රෝගීන් 36,168ක් වාර්තාවී ඇත. ඉන් වැඩිම රෝගීන් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.

ඊට අමතරව මාතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවලද රෝගීන් වාර්තා වී තිබේ.

එමෙන්ම මේ දක්වා මරණ 20ක් වාර්තා වී ඇති අතර, ඉන් තිදෙනෙක්ම කුඩා ළමුන් බව සඳහන්ය.