ඉතියෝපියාවේදී පැහැරගැනුණු ලාංකිකයින් තිදෙනා නිරුපද්‍රිතව බේරා ගනියි
June 8, 2026 03:11 pm
ඉතියෝපියාවේදී පැහැරගැනීමකට ලක්වුණු ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු සාර්ථකව බේරා ගැනීමට හැකිව තිබේ.
මෙම ලාංකිකයින් තිදෙනා රැකියා අවස්ථා සඳහා ඉතියෝපියාවට පැමිණ තිබුණු අතර එහිදී පැහැර ගැනීමකට ලක් තිබුණි.
එහිදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙම පැහැර ගැනීම සම්බන්ධව එරට බෝලේ හී උප නගර පොලිස් දෙපාර්තමේන්තුව වෙත වාර්තා කිරීමෙන් අනතුරුව පසුගිය මැයි 26 වැනි දින මේ සම්බන්ධව විමර්ශන ආරම්භ විය.
එහිදී අනාවරණය වී ඇත්තේ මෙම ශ්‍රී ලාංකිකයින් තිදෙනා අතුරුදන් වීමට දින කිහිපයකට පෙර ඉතියෝපියාවට පැමිණ ඇති බවය.
එහිදී පොලීසිය සියුම් නිර්ක්ෂණයන් සහ සිදුකර ඇති විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස අදාළ ශ්‍රී ලාංකිකයින් ගුවන් තොටුපළින් රැගෙන ගොස් ඇති වාහනයක් පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
ඒ සම්බන්ධව වැඩිදුර විමර්ශනයේදී ඉතියෝපියාවේ ඔරොමියා කලාපයේ පිහිටි නගරයක් වන ෂෂෙමේන් හී නේවාසික නිවාසයක රඳවා ඇති බව අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව සිදුකළ වැටලීමේදී මෙම ශ්‍රී ලාංකිකයින් තිදෙනා සාර්ථකව මුදා ගැනීමට එරට ආරක්ෂක අංශ සමත්වී ඇති අතර වැටලීමෙන් ඉතියෝපියානු ජාතිකයින් දෙදෙනෙකු සහ පාකිස්තාන ජාතිකයින් සිව් දෙනෙකු ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර මෙම ශ්‍රී ලාංකිකයින් නිදහස් කර ගැනීම සඳහා සැකකරුවන් පිරිස එක් අයෙකුගෙන් ඩොලර් 30,000 බැගින් ඩොලර් 90,000ක මුදලක්ද ඉල්ලා තිබුණි.
ඉතියෝපියානු ජාතික බුද්ධි හා ආරක්ෂක සේවය, ෆෙඩරල් පොලීසිය, තොරතුරු ජාල ආරක්ෂක පරිපාලනය සහ ඔරොමියා ප්‍රාදේශීය පොලීසිය විසින් සිදුකරන ලද ඒකාබද්ධ උත්සාහයකින් මෙම ලාංකිකයින් තිදෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකිව තිබේ.
