බ්‍රිතාන්‍ය බලා යාමට තැත්කළ සංක්‍රමණිකයන් 300කට අත් වූ ඉරණම
June 9, 2026 05:14 pm
බ්‍රිතාන්‍යය බලා ගමන් කිරීමට උත්සාහ කළ සංක්‍රමණිකයන් 300කට අධික පිරිසක් පැහැරගෙන ගොස්, දරුණු ලෙස වධහිංසා පමුණුවා, ඔවුන්ගේ වකුගඩු බලහත්කාරයෙන් ඉවත් කරන බවට තර්ජනය කර ඇති බවට විදෙස් වාර්තා පවසයි.
පසුගිය වසරේ දී මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ ඉරාක කුර්දිස්ථාන කලාපයේ පදිංචිව සිටි තරුණයන් පිරිසකි.
ලිබියාවේ ක්‍රියාත්මක සන්නද්ධ කල්ලියක් විසින් මොවුන්ව වටලා, එක් අයෙකුගෙන් අමෙරිකානු ඩොලර් 5,000 බැගින් කප්පම් මුදල් ඉල්ලා ඇති අතර, එම මුදල් කඩිනමින් නොගෙවුවහොත් ඔවුන්ගේ වකුගඩු ඉවත් කරන බවට තර්ජනය කර ඇති බව සඳහන් වේ.
එම පිරිසෙන් නිදහස ලබා පැමිණි ප්‍රාණඇපකරුවන් කිහිපදෙනෙකු බීබීසී පුවත් සේවය සමඟ පැවති සාකච්ඡාවකදී ඔවුන්ට මුහුණදීමට සිදු වූ වධහිංසා පිළිබඳ සාක්ෂි පෙන්වා තිබේ.
එක් කුඩා සිරකුටියක පුද්ගලයන් 180කට ආසන්න සංඛ්‍යාවක් සිරකර තැබූ බව ඔවුන් පවසා ඇත.
නිදහස් වූ 16 හැවිරිදි තරුණයෙකු ප්‍රකාශ කර ඇත්තේ , "අපි මාස හයක් තිස්සේ ඉර එළිය දැක්කේ නැහැ. ඉඩකඩ නැතිකම නිසා හැමෝටම නිදාගන්න වුණේ වාඩිවෙලා" යනුවෙනි.
ඔවුන් සියලු දෙනාටම තිබී ඇත්තේ එක් වැසිකිළියක් පමණක් වන අතර, එහි ප්‍රමාද වන අයට දරුණු ලෙස පහර දී ඇත. දිනකට ලැබී ඇත්තේ පාන් කැබැල්ලක් පමණි.
මෙම වධහිංසා හේතුවෙන් එක් ප්‍රාණ ඇපකරුවෙකු මියගොස් ඇති බව සඳහන් වේ.
මෙම සංක්‍රමණිකයන්ව ලිබියාව හරහා මධ්‍යධරණී වෙරළ තීරයට රැගෙන යාමට මෙම සන්නද්ධ කල්ලිය එකඟ වී තිබුණි.
නමුත් මෙම ගමන සංවිධානය කළ "නෝවා ආරොන්" නැමැති ඉරාක කුර්දි ජාතික මිනිස් ජාවාරම්කරු සහ සන්නද්ධ කල්ලිය අතර මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුව ඇත.
නෝවා ආරොන් දැනටමත් මුදල් විශුද්ධිකරණය සහ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් ප්‍රංශයේ වසර 10ක සිරදඬුවමක් විඳිමින් සිටී.
ලිබියාවේ පවතින දුර්වල රාජ්‍ය පාලනය හේතුවෙන් මෙවැනි සන්නද්ධ කල්ලිවලට ඕනෑ එපාකම් පියවා ගැනීමට මඟ පෑදී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපදේශක ඇන්තනි ඩන්කර්ලි පවසයි.
කප්පම් මුදල් නොගෙවන්නේ නම් වකුගඩුවක් ලබාගන්නා බවට තර්ජනය කරමින් සන්නද්ධ කල්ලිය විසින් ප්‍රාණඇපකරුවන්ගේ දරුණු වීඩියෝ සහ ඡායාරූප ඔවුන්ගේ පවුල් වෙත යවා තිබුණි. එක් වීඩියෝවක දැක්වෙන්නේ තරුණයෙකුගේ වකුගඩුව ඉවත් කිරීම සඳහා වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන බව පවසන දර්ශනයකි.
ඉරාක රජය මැදිහත් වී සංවිධානය කළ ගුවන් යානයකින් පසුගිය ජනවාරි මාසයේදී ප්‍රාණඇපකරුවන් 110 දෙනෙකු නැවත ගෙන්වා ගෙන ඇත.
මෙවැනි බිහිසුණු තත්ත්වයන් පැවතුණද, ඉරාක කුර්දිස්ථානයේ සිට යුරෝපය බලා යන නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ පැමිනීම් නතර වී නොමැති බව කුර්දිස්ථාන බලධාරීන් පවසයි.
