සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්

සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්

June 10, 2026   02:39 pm

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා රැඳවුම් භාරයේ සිටියදී වධහිංසාවට ලක්ව ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීමට කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (10) නියෝග කළේය.

එහිදී මහෙස්ත්‍රාත්වරයා එම පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට නියෝග කර සිටියේ, කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සලේ මහතාව පරික්ෂාවට ලක්කර ජුලි මස 1වැනිදා ඉදිරි නඩු දිනට ප්‍රථම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය.

මෙම පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විශේෂඥ මානසික වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් සහ විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් සමන්විතය.

එහි සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය තුසිත මෙන්ඩිස් මහතා පත්කළ අතර, සෙසු සාමාජික විශේෂඥ වෛද්‍යවරුන් වන්නේ චිත්තාහරි අබේනායක, දසන්ති අක්මීමන, දුලෙයිකා අමරසිංහ වාස් සහ වජිර ධර්මවර්ධනය.