පකිස්තාන හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටෙයි

පකිස්තාන හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටෙයි

June 10, 2026   08:46 pm

පකිස්තාන විසින් අත්පත් කරගෙන සිටින කාශ්මීර කලාපයේ මුසෆරබාද් නගරය අසලදී පකිස්තාන හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව පකිස්තාන හමුදාව ප්‍රකාශ කළේය.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව අද (10) නිවේදනයක් නිකුත් කරමින් පකිස්තාන හමුදා මාධ්‍ය අංශය තහවුරු කළේය.

"පකිස්තාන හමුදා ගුවන් සේවයට අයත් Mi-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන්ගත වීමේදී මුසෆරබාද් අසලදී අද දින කඩා වැටුණා," යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.

යානයේ ගමන් ගත් පිරිස සංඛ්‍යාත්මකව කොපමණදැයි හමුදාව මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කර නොමැති අතර, එහි සිටි සියලුම කාර්ය මණ්ඩලය සහ නිලධාරීන් අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඔවුන් වැඩිදුරටත් පවසා ඇත.

පකිස්තාන පාලනයේ පවතින කාශ්මීරයේ දේශීය රජය විසින් මෑතකදී එරට විරෝධතා ව්‍යාපාරයක කණ්ඩායමක් ත්‍රස්ත විරෝධී පනත යටතේ තහනම් කරනු ලැබීය. 

ඊට එරෙහිව එම කණ්ඩායම විසින් මුසෆරබාද් නගරයේ දැවැන්ත විරෝධතා පවත්වන බව ප්‍රකාශ කිරීමත් සමඟ, පසුගිය දින කිහිපය පුරා එම ප්‍රදේශයේ දැඩි ආරක්ෂක රැකවල් තර කර තිබූ පසුබිමක මෙම අනතුර සිදුව තිබේ.