අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට කැනඩාවෙන් නව පනතක්

අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට කැනඩාවෙන් නව පනතක්

June 11, 2026   08:26 am

වයස අවුරුදු 16ට අඩු දරුවන් සහ යොවුන් වියේ පසුවන්නන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට කැනඩා රජය නව පනතක් ඉදිරිපත් කර තිබේ.

පසුගිය වසරේ අගභාගයේදී ඔස්ට්‍රේලියාව විසින් පනවන ලද ආන්දෝලනාත්මක නීතියට සමාන අයුරින් කැනඩාව ද මෙම පියවර ගෙන ඇත.

කැනඩා පාර්ලිමේන්තුවේ සංස්කෘතික අමාත්‍ය මාක් මිලර් විසින් ඊයේ (10) දින ‘සුරක්ෂිත සමාජ මාධ්‍ය පනත’නමින් මෙම කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු නීතියට වඩා කැනඩාවේ මෙම නව පනත තරමක් වෙනස් බව සඳහන් වේ.

එහි සඳහන් පරිදි, බාලවයස්කාර දරුවන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා නිසි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවට තහවුරු කළ හැකි තාක්ෂණික සමාගම්වලට මෙම තහනමෙන් නිදහස් වීමට අවස්ථාව සැලසේ.

මෙම නව නීතිය මගින් ‘ChatGPT’ වැනි AI චැට්බොට්ස්  නියාමනය කිරීමට සහ අන්තර්ජාලය හරහා පැතිරෙන "හානිකර අන්තර්ගතයන්"  පාලනය කිරීමට දැඩි පියවර ගෙන ඇත.

මේ යටතේ ළමයින්ට අපහාස කිරීම, වෛරය වැපිරීම සහ ප්‍රචණ්ඩත්වය උත්තේජනය කිරීම ඇතුළු ක්ෂේත්‍ර 7ක කරුණු හානිකර අන්තර්ගතයන් ලෙස වර්ග කර තිබේ.

මෙම නීති උල්ලංඝනය කරන සමාගම් සඳහා, කැනේඩියානු ඩොලර් මිලියන 10ක් (ඇමරිකානු ඩොලර් මිලියන 7ක්) හෝ එම සමාගමේ ගෝලීය දළ ආදායමෙන් 3%ක ප්‍රමාණයක් දඩය ලෙස අය කෙරේ.

නඩු පැවරීම් සහ නියාමනයන් අධීක්ෂණය කිරීම සඳහා ‘කැනඩා ඩිජිටල් ආරක්ෂණ කොමිසම’නමින් ස්වාධීන ආයතනයක්ද පිහිටුවීමට නියමිතය.

පසුගිය පෙබරවාරි මාසයේදී කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රදේශයේ පාසලක සිදුවූ අවාසනාවන්ත වෙඩි තැබීමකින් කුඩා ළමුන් 6 දෙනෙකු ඇතුළු 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

එහිදී 18 හැවිරිදි සැකකරු ප්‍රහාරයට මාස කිහිපයකට පෙර ගිනිඅවි පිළිබඳව ‘ChatGPT’ හරහා සාකච්ඡා කර ඇති බව හෙළි වී තිබේ.

 මෙම ගිණුම පිළිබඳව පොලීසියට වාර්තා කිරීමට OpenAI සමාගම අපොහොසත් වීම හේතුවෙන් එහි ප්‍රධාන විධායක සෑම් ඇල්ට්මන්ට වින්දිතයන්ගේ පවුල්වලින් ලිඛිතව සමාව ගැනීමට පවා සිදුවිය.

මෙම සිදුවීමෙන් පසු අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳව කැනඩාවට එල්ල වූ බලපෑම දැඩි විය.

ලබන සතියේ ප්‍රංශයේ පැවැත්වීමට නියමිත G7 රාජ්‍ය නායක සමුළුවට පෙර කැනඩාව මෙම පනත ගෙන ඒමට නියමිතව ඇත. එම සමුළුවේදී දරුවන් අන්තර්ජාලයෙන් ආරක්ෂා කර ගැනීම සහ AI තාක්ෂණයේ අවදානම පිළිබඳව ලෝක නායකයන් සාකච්ඡා කිරීමට නියමිතය.

මේ වන විටත් බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ නවසීලන්තය මෙවැනි නීති පනවා ඇති අතර, බ්‍රිතාන්‍යයද ලබන සතියේදී වයස 16ට අඩු දරුවන්ට සෝෂල් මීඩියා තහනමක් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වේ. ග්‍රීසිය ලබන ජනවාරියේ සිට වයස 15ට අඩු දරුවන්ට මෙම තහනම පැනවීමට නියමිතය.

මෙම පනත හරහා අන්තර්ජාලය සෙන්සර් කිරීම හෝ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා වීමක් සිදුවිය හැකි බවට ඇතැම් නිදහස් මතධාරී සංවිධාන අනතුරු අඟවයි. 

ඔවුන් පවසන්නේ මෙම ගැටලුව කැනඩාවේ පවතින සාමාන්‍ය අපරාධ නීති සංග්‍රහය යටතේ විසඳිය යුතු බවයි.