SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ - නීතිපති දන්වයි
June 12, 2026 11:46 am
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව දැනට ඉදිරිපත් වී ඇති කරුණු මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා ගැනීමට මෙම අවස්ථාවේ තීරණයක් ගෙන නොමැති බව නීතිපතිවරයා අද (12) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා විසින් ගොනු කළ රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ශී හේරත් මහත්මිය මෙම දැනුම්දීම සිදුකළාය.
මෙම පෙත්සම අද ශෂී මහේන්ද්‍රන් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂී හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් නව මුහුණුවරකින් විමර්ශනයක් සිදුකෙරෙන බව සඳහන් කළාය.
එම විමර්ශනවලදී මෙම පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මේ දක්වා කරුණු අනාවරණය වී නොමැති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඒ අනුව මෙම පෙත්සම්කරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ ඒ යටතේ රඳවා ගැනීමට විමර්ශකයින් විසින් මෙම අවස්ථාවේ තීරණයක් ගෙන නොමැති බවත් පැවසුවාය.
මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ඤාණරාජ් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළ සාක්ෂිකරුවෙකුට බලපෑම් කළ බවට චෝදනා කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු තම සේවාදායකයා සම්බන්ධයෙන් ඉකුත්දා මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබූ බව පෙන්වා දුන්නේය.
ඒ අවස්ථාවේදී විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා සඳහන් කළ සිද්ධියට අදාළව සාක්ෂි අනාවරණය වී තිබේදැයි විමවේය.
ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පැවසුවේ මේ අවස්ථාවේදී සාක්ෂි අනාවරණය වී නොමැති බවත් මෙවැනි කරුණු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන බවය.
යළිත් කරුණු දැක්වූ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා විශ්වාසදායක සාක්ෂි නොමැතිව මෙවැනි කරුණු ඉදිරිපත් කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ අතර තමන්ට ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස සිය සේවාදායකයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළත් එයද මේ දක්වා ඉටුවී නොමැති බවත් පැවසුවේය.
ඒ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරියට පෙන්වා දුන්නේ විමර්ශනයක් සිදුවන බැවින් මෙම පෙත්සම්කාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සුදුසු ස්ථාන මාරුවක් ලබාදීම යෝග්‍ය බවය.
ඒ අනුව පෙත්සම්කාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ස්ථාන මාරුවක් ලබාදීමට තිබෙන හැකියාව පිළිබඳව පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර ලබන 17 වනදා අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියට දැනූම් දුන්නේය.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා විසින් නීතිඥ අමිල කුමාර මහතා මාර්ගයෙන් මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබුණි.
