චීනයේ කාන්තාර ප්‍රදේශ සඳහා දැඩි ගංවතුර අවදානමක්
June 12, 2026 04:28 pm
අසාමාන්‍ය ලෙස ඉහළ යන උෂ්ණත්වය, අධික වර්ෂාපතනය සහ වේගයෙන් ග්ලැසියර දියවීම හේතුවෙන් මේ වසරේ ගිම්හාන කාලයේදී දැඩි ගංවතුර තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවට චීනය එරට වයඹදිග ෂින්ජියැන්ග් සහ ඒ අවට ප්‍රදේශවල වැසියන්ට අනතුරු ඇඟවා තිබේ.
චීනයේ විශාලතම කාන්තාරය වන ෂින්ජියැන්ග්හි තක්ලමකාන් (Taklamakan) කාන්තාරය, මේ වසරේ සිය පළමු ගංවතුර තත්ත්වයට ජූනි මස මුලදී මුහුණ දුන් බව එටර මාධ්‍ය වාර්තා කර තිබුණි.
2021 වසරේ සිට තක්ලමකාන් කාන්තාරය මෙවැනි ගංවතුර තත්ත්වයන්ට මුහුණ දී තිබුණද, ඒවා සාමාන්‍යයෙන් සිදු වන්නේ උෂ්ණත්වය උපරිම වන අගෝස්තු මාසයේදීය.
ජූනි 12 වනදා වන විට ෂින්ජියැන්ග්හි උෂ්ණත්වය වසරේ මෙම කාලසීමාවේ පවතින සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 7.3කින් ඉහළ ගොස් සෙල්සියස් අංශක 38 ක් දක්වා ළඟා වී තිබුණි.
බටහිර සහ දකුණු ෂින්ජියැන්ග් ප්‍රදේශවලට මෑතකදී නිතර නිතර වර්ෂාපතනයක්ද ලැබී ඇත.
සමහර ප්‍රදේශවල වර්ෂාපතනය ජූනි මස මුල පවතින ඓතිහාසික සාමාන්‍ය අගයට වඩා දෙගුණයකින් හෝ තෙගුණයකින් පවා වැඩි වී ඇති බව ද වාර්තා වේ.
මෙම දැඩි උෂ්ණත්වය සහ වර්ෂාපතනයේ එකතුව කාන්තාර ගංවතුර තත්ත්වයන් ඇති කිරීමට හේතු වී ඇත.
ටියැන්ෂාන් සහ කුන්ලුන් කඳුකරයේ ඇති විශාල ග්ලැසියර සහ හිම තට්ටු දියවී යාම නිසා, එම ජලය චීනයේ දිගම අභ්‍යන්තර ජල මාර්ගය වන තාරිම් ගඟට ගලා ගොස් තිබේ.
මෙම සෘතුමය ගංවතුර නිසා තාවකාලිකව ක්ෂේම භූමි නිර්මාණය විය හැකි වුවද, ඒවා දිගුකාලීනව පවතිනු ඇතැයි සිතිය නොහැකි බව විශේෂඥයෝ පවසති.
ඊට හේතුව තක්ලමකාන් කාන්තාරය රට අභ්‍යන්තරයේ උස් කඳුවලින් වටවී පිහිටා තිබීම නිසා ඇති වන අවම තෙතමනය සහ අධික වාෂ්පීකරණය හේතුවෙන් මෙම භූමිය ඉක්මනින්ම වියළී යාමය.
