නමක් ගමක් නැති චීන කෑම - සුපිරි වෙළෙඳසැලක් වටලයි
June 13, 2026 02:54 pm
මෙරට පාරිභෝගික නීති උල්ලංඝණය කරමින් නිෂ්පාදිත දිනයක්, කල් ඉකුත්වීමේ දිනයක් හෝ බෙදාහරින්නෙකුගේ තොරතුරු සහ අනෙකුත් දත්ත ඇතුළත් නොකර භාණ්ඩ අලෙවි කළ චීන සමාගමකට අයත් සුපිරි වෙළෙඳසැලක් වැටලීමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කර තිබේ.
කොල්ලුපිටිය ප්රදේශයේ පවත්වාගෙන ගොස් තිබූ අදාළ අලෙවිසැල තුළ දේශීය පාරිභෝගිකයින්ට ද භාණ්ඩ අලෙවිකර ඇතත් ඒවායෙහි අන්තරගතයන් පිළිබඳ දැනුම්වත් වීම සඳහා සුදුසු භාෂාවක් හෝ යොදා නොමැති බවද සඳහන්.
එමෙන්ම මෙම වැටලීමේදී චීන ආහාර, ශ්රී ලාංකික පුද්ගලයින් නිෂ්පාදනය කර අලෙවි කර ඇති බවටත් නිරීක්ෂණය වී ඇත.
නඩු භාණ්ඩ මාලිගාකන්ද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන ක්රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කර සිටී.
