ඩෙංගු රෝගීන් වැඩිවීමට හේතුව නියෝජ්‍ය ඇමති කියයි
June 14, 2026 03:50 pm
මේ වනවිට ඩෙංගු රෝගය ව්‍යාප්ත වී ඇත්තේ පැවති වෛරයේ යම් වෙනස්කම් සහිතව බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පවසයි.
අද (14) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම නව වෙනස්කම් සහිත වෛරසය මීට පෙර ශ්‍රී ලංකාවේ ජනතාවට වැලඳී නොමැති බැවින් වැඩි ප්‍රමාණයකට මෙම නව ඩෙංගු වෛරසය වැලඳීමේ හැකියාවක් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා රජයක් වශයෙන් ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවත් මහජනතව ද ඒ සඳහා සිය උපරිමයෙන් කටයුතු කිරීමට වගා බලා ගත යුතු බවටත් අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
"සාමාන්‍යයෙන් කාලෙකට සැරයක් මෙවැනි තත්ත්වයක් ඇති වන බව අපි දැනගෙන හිටියා. කාලයකට සැරයක් රෝගීන් මෙලෙස වැඩි වන නිසා අපි මුල සිටම යම් සූදානමකින් ඉන්නවා. නමුත් මේ සැරේ තියෙන වෛරස් එකේ වෙනස්කම් කිහිපයක් තිබෙනවා. අර හැමදාම හැදෙන වෛරස් එකට වඩා වෙනස් වෛරස් එකකින් තමා මෙවර රෝගය වැළඳෙන්නේ. ඒ වෛරස් එක ලංකාවේ ගොඩක් දෙනෙකුට මීට පෙර හැදිලා නැති නිසා, වඩා වැඩි ප්‍රමාණයකට මේ සැරේ රෝගය වැළඳීමේ ප්‍රවණතාවක් තිබෙනවා.
අප දැනට කටයුතු කළ යුත්තේ මදුරුවන් ප්‍රමාණය අඩු කර ගැනීමට සහ රෝහලට පැමිණෙන රෝගීන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වීමක් නොමැතිව සුවය ලබා නිවෙස් බලා පිටත් කර හැරීමටයි. මේ සම්බන්ධයෙන් රජයටත් වඩා වැඩි වගකීමක් මහජනතාවට තිබෙනවා. අපේ පැත්තෙන් අපිට කරන්න පුළුවන් උපරිම දේ අප සිදු කරන බවට මහජනතාවට සහතික වන අතර, ඔබත් ඔබේ පැත්තෙන් කළ හැකි උපරිම දේ ඉටු කරන ලෙස මම ඉල්ලා සිටිනවා."
