ගෝලීය දේශගුණික විපර්යාසයන්හි සැබෑ බිහිසුණු බව අත්විඳින දිල්ලි වැසියන්
June 15, 2026 02:54 pm
ඉන්දීය අගනුවර වන නව දිල්ලිය සති කිහිපයක සිට දරුණු උණුසුම් තරංග තත්ත්වයකට මුහුණ දී සිටින අතර, එහි උෂ්ණත්වය නිරන්තරයෙන් සෙල්සියස් අංශක 40 ඉක්මවා යන බව සඳහන් වේ.
පසුගිය අඟහරුවාදා ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිල්ලියේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 43.5ක් ලෙස වාර්තා කළේය. කෙසේ වෙතත්, 'ග්‍රීන්පීස් ඉන්ඩියා' (Greenpeace India) සංවිධානය විසින් භාවිත කරන ලද තාප කැමරාවක් (Thermal Camera) මඟින් නගරයේ වීදි පරික්ෂා කිරීමේදී, ඇතැම් ස්ථානවල මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 64 තරම් ඉහළ අගයක පැවති බව නිරීක්ෂණය වී තිබේ.
මෙම දත්ත දෙක අතර පැහැදිලි වෙනසක් පවතී. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මනිනු ලබන්නේ සම්මත තත්ත්වයන් යටතේ වාතයේ පවතින උෂ්ණත්වයයි. නමුත් තාප කැමරා මඟින් මනිනු ලබන්නේ විවිධ මතුපිටන්හි උෂ්ණත්වයයි. දැඩි හිරු රශ්මිය පවතින දිනවල මාර්ග, කොන්ක්‍රීට්, වාහන සහ වෙනත් විවෘත මතුපිටවල් අවට වාතයට වඩා බෙහෙවින් රත් වේ. මෙලෙස මතුපිට උෂ්ණත්වය ඉහළ යාම නිසා මිනිස් සිරුරට අවශෝෂණය වන තාප විකිරණය වැඩි වන අතර, සෙවන හෝ ශාක පත්‍ර නොමැති නාගරික ප්‍රදේශවල නිල උෂ්ණත්වයට වඩා වැඩි රස්නයක් ශරීරයට දැනේ.
දිල්ලියේ කාර්යබහුලම මංසන්ධියක් වන IIT ගුවන් පාලම අසලදී තාප කැමරාව යොමු කළ විට, ගුවන් පාලමේ සෙවණ ඇති ස්ථානවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. නමුත් සෘජු හිරු රශ්මියට නිරාවරණය වෙමින් සංඥා පුවරු අසල නතර කර තිබූ යතුරුපැදි මත උෂ්ණත්වය අංශක 64ක් දක්වා ඉහළ ගොස් තිබුණි. පර්යේෂකයන් සිටි ස්ථානයේ පොළව මතුපිට උෂ්ණත්වය අංශක 61ක් වූ අතර, එතැනින් අඩි 10ක් පමණ ඈතින් පිහිටි ගසක් සෙවණට ගිය විට එය සෙල්සියස් අංශක 39.8ක් දක්වා ක්ෂණිකව පහත වැටී ඇත.
පර්යේක්ෂකයින් පෙන්වා දෙන්නේ මිනිස් සිරුරේ සාමාන්‍ය අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ක් වන අතර, දිගු වේලාවක් අධික තාපයට නිරාවරණය වීමෙන් එය අංශක 40 ඉක්මවා යා හැකි බවය.
එවිට ශරීරයේ ක්‍රියාකාරිත්වය අඩපණ වී, අධික ලෙස දහඩිය දැමීම, හිසරදය, ක්ලාන්තය, ව්‍යාකූලත්වය සහ වලිප්පුව වැනි ලක්ෂණ ඇති විය හැක. ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් ශරීරයේ ඉන්ද්රියයන් අක්‍රිය වී මරණය පවා සිදුවිය හැක. මේ නිසා පිපාසය නොදැනුනත් නිතර ජලය පානය කරන ලෙසත්, සැහැල්ලු ඇඳුම් සහ කුඩ භාවිත කරන ලෙසත්, පෙ.ව. 10:30 සිට ප.ව. 3:00 දක්වා කාලය තුළ එළිමහන් ශ්‍රමිකයන් සේවයේ යෙදවීමෙන් වළකින ලෙසත් ඔවුන් උපදෙස් දී තිබේ.
කෙසේ වෙතත්, මෙවැනි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට දිල්ලියේ දිළිඳු සහ වීදි වෙළෙඳුන්ට හැකියාවක් නැත. පවතින දැඩි රස්නය මධ්‍යයේ වුවද ජීවනෝපාය වෙනුවෙන් ඔවුන්ට සිය රැකියාව සිදු කිරීමට සිදුව ඇත.
දිල්ලියේ සුප්‍රකට චන්ද්නි චව්ක් (Chandni Chowk) ප්‍රදේශයේ පදිකයන් සඳහා ඉදිකර ඇති කොන්ක්‍රීට් කුළුණු සෙවණක් නොමැති නිසා දැඩි ලෙස රත් වී තිබූ අතර, එවැනි එක් කුළුණක උෂ්ණත්වය සෙල්සියස් අංශක 56.9ක් ලෙස සටහන් විය.
දිල්ලියේ 'සුන්දර් නගර්' වැනි අඩු ආදායම්ලාභී නිවාස සංකීර්ණවල තත්ත්වයද මීට වඩා වෙනස් නොවේ.
ගෝලීය දේශගුණික විපර්යාසයන්හි සැබෑ බිහිසුණු බව දිල්ලියේ සාමාන්‍ය වැසියන් මෙලෙස දිනපතා තම සිරුරෙන්ම අත්විඳිමින් සිටිති.
