මාරක අනතුරු කිහිපයක්
June 16, 2026 08:16 am
දිවයිනේ ප්රදේශ කිහිපයක දී සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මාතලේ, වැහිගල මාර්ගයේ කඩුවෙල ප්රදේශයේදී සිදු වූ අනතුරකින් 48 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
වැහිගල දෙස සිට කඩුවෙල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා අනාරක්ෂිත ලෙස ඇද තිබූ කේබලයක පැටලී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් පැදිකරු බරපතළ තුවාල ලබා එම ස්ථානයේම මියගොස් ඇති අතර යතුරුපැදියේ පිටුපස ගමන් කළ පැදිකරුගේ වයස අවුරුදු 14ක් වන දරුවන් දෙදෙනා තුවාල ලබා මාතලේ රෝහල වෙත ඇතුළත් කර ඇත.
එමෙන්ම මීරිගම, නාල්ල මාර්ගයේ හකුරුකුඹුර ප්රදේශයේදී සිදු වූ අනතුරකින් ද පුද්ගලයෙකුට දිවි අහිමි වී තිබේ.
නාල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක් පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ පදිකයා මීරිගම රෝහලට ඇතුළත් කර ඇති අතර ප්රථිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 59ක් වූ නාල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුරට සම්බන්ධ යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මීරිගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
මේ අතර දෙල්විට කිරිබත්ගල්ල මාර්ගයේ ගොඩමඩ ප්රදේශයේදී සිදු වූ අනතුරකින් ත්රීරෝද රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් වූ දෙල්විට ප්රදේශයේ පදිංචිකරුවෙකි.
එමෙන්ම මෙම අනතුරින් ත්රිරෝද රථයේ පිටුපස ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු ද තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
කිරිබත්ගල්ල දෙස සිට දෙල්විට දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් ඊට ප්රථිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
