සංචාරක සංවර්ධන කාර්යසාධක බලකාය රැස් වෙයි
June 16, 2026 06:36 pm
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (16) පස්වරුවේ රැස් විය.
සංචාරක ක්ෂේත්රයේ පවතින ගැටලු සහ බාධා ඉවත් කර ගනිමින් ශ්‍රී ලංකාව තිරසාර සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ සැලසුම් සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් විශේෂ සංචාරක කලාපයක් ඇති කිරීමේ යෝජනාව පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් වූ අතර, දකුණු සහ සබරගමුව පළාත් ඒකාබද්ධ කරමින් සිංහරාජය, කන්නැලිය-දෙදියගල-නාකියාදෙනිය වනාන්තර සංකීර්ණය සහ හිනිදුම කඳු වැටිය කේන්ද්‍ර කර ගත් විශේෂ සංචාරක කලාපයක් ඒ යටතේ සංවර්ධනය කෙරේ.
දැනට එම කලාපය තුළ සිදු වන අවිධිමත් හෝටල් ඉදිකිරීම් සහ පරිසර දූෂණය පාලනය කරමින්, එහි ස්වභාවිකත්වය ආරක්ෂා වන පරිදි නියාමන රාමුවක් සකස් කිරීම මෙහි අරමුණ වේ.
මෙම කලාපය තුළ තේ වගාව ආශ්රිත සංචාරක කර්මාන්තය සහ පාරිසරික පාදක සංචාරක කටයුතු ප්‍රවර්ධනයටද සැලසුම් කර ඇත. ඒ අනුව සංචාරක කලාපය පිළිබඳ යෝජනාවට අදාළ සියලු අංශ ආවරණය වන පරිදි ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමටද මෙහිදී තීරණය කෙරිණි.
සමුද්‍රීය සංචාරක සහ මගී ප්‍රවාහන සේවා යටතේ Capital Marine and Civil Construction (CMC) ආයතනය වසර 10ක කාලයක් තුළ අදියර 03ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සමුද්‍රීය සංචාරක කොරිඩෝව පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
මෙහි පළමු අදියර ලෙස උතුරු පළාතේ යාපනය කේන්ද්‍ර කර ගත් මගී ප්‍රවාහන යාත්‍රා සේවා (Ferry services) ආරම්භ කර පසුව එය කොළඹ සහ ගාල්ල දක්වා ව්‍යාප්ත කිරීමටත් යෝජිතය.
සිනමා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම පිළිබඳවද මෙහිදි විශේෂ අවධානය යොමු විය. විදේශීය චිත්‍රපට කණ්ඩායම්වලට ලංකාව තුළ රූගත කිරීම් සඳහා අවසර ලබා ගැනීමේදී පවතින ප්‍රායෝගික ගැටලුවලට විසඳුම් ලබා දීම මෙන්ම, එකම ස්ථානයකදී අවසර ලබා ගැනීමට හැකි වන පරිදි තනි කවුළුවක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි. චිත්‍රපට උපකරණ තාවකාලිකව මෙරටට ගෙන ඒමේදී පවතින ගැටලු නිරාකරණය කර ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.
ගුවන් හමුදාව, සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ සංචාරක මණ්ඩලය ඒකාබද්ධ වූ වැඩසටහනක් මගින් කොග්ගල ගුවන් තොටුපළ ආශ්‍රිතව සංචාරකයන් ඉලක්ක කර ගනිමින් Skydiving ප්‍රවර්ධනය කිරීමටද අවධානය යොමු විය.
තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් නැරඹීම සඳහා නව මාර්ගෝපදේශ සකස් කර අවසන් කර ඇති අතර, එම ක්ෂේත්රය ක්‍රමවත් කිරීම සහ මාර්ගගත ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බවද මෙහිදී අනාවරණය විය.
කොළඹ නගරයේ රාත්‍රී සංචාරක ව්‍යාපාරය නංවාලීමේ අරමුණින් මැරයින් ඩ්‍රයිව් ප්‍රදේශයේ සති අන්තයේ පවත්වනු ලබන Marine Night වැඩසටහන සහ සංචාරකයන්ගේ වීසා සහ ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් කිත්සිරි, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ. ජයසුන්දර, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් යන මහත්වරුද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් හිමාලි අරුණාතිලක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් මල්කාන්ති රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද, ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී, ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා ඇතුළු සංචාරක ක්ෂේත්රයේ ප්‍රධාන පාර්ශ්වකරුවෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
