ලංකාවටම ඩෙංගු බෝවෙන්නේ මදුරු වර්ග දෙකකින්
June 17, 2026 10:29 pm
ලංකාව තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වන්නේ ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු විශේෂ දෙකෙන් පමණක් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ කීට විද්‍යාඥ සකුන්තලා ජානකී මහත්මිය පවසයි.
ඉන් ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන ප්‍රධාන වාහකයා ඊඩිස් ඊජිප්ටයි බවත්, රට තුළ ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති වීමට පෙර සෑම විටම පාහේ මෙම මදුරු විශේෂයේ වර්ධනයක් නිරීක්ෂණය වූ බවද ඇය සඳහන් කළාය.
ඊඩිස් ඊජිප්ටයි මදුරු විශේෂයට දෂ්ඨ කිරීමේ ආවේණිකත්වයක් ඇති අතර, එය බහුවාර්ය භෝජන ලෙස හඳුන්වයි.
සාමාන්‍යයෙන් ගැහැණු මදුරුවෙකු තම ජීවන චක්‍රය ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා එක් අයෙකුගේ රුධිරය උරා බොනු ලැබූවද, ඊඩිස් ඊජිප්ටයි මදුරුවාගේ තත්ත්වය මීට වෙනස්ය.
කුඩා මිනිස් කණ්ඩායම් ගැවසෙන ප්‍රදේශවලදී, තමන්ට අවශ්‍ය රුධිර වේල සම්පූර්ණ කර ගැනීම සඳහා කෙටි කාලයක් ඇතුළත පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් රුධිරය උරා බොන්න ඊඩිස් ඊජිප්ටයි මදුරුවා පෙළඹේ.
මෙම සුවිශේෂී හැසිරීම හේතුවෙන්, යම් හෙයකින් ඩෙංගු වෛරසය ආසාදනය වූ ඊඩිස් ඊජිප්ටයි මදුරුවෙකුට කෙටි කාලයක් තුළ පුද්ගලයින් කිහිප දෙනෙකුටම රෝගය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් ඇත.
ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේදී මෙම තත්ත්වය ඉතා වැදගත් වන බැවින්, ඊඩිස් ඊජිප්ටයි මදුරුවාගේ ව්‍යාප්තිය පිළිබඳ නිරන්තරයෙන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතුවේ.
