තෙල්දෙණියේදී මෝටර් රථයක් තුළ මියගොස් සිටියේ අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියක්
June 18, 2026 12:28 pm
තෙල්දෙණිය ප්‍රදේශයේ මෝටර් රථයක තිබී සොයාගත් කාන්තා මළසිරුර සම්බන්ධයෙන් තවත් කරුණු අනාවරණය කරගැනීමට පොලිසිය සමත්වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන පොලිසිය වැඩිදුරටත් පැවසුවේ ඇය අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියක් බවය.
මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ ඇයගේ පෙම්වතා විසින් සිරුර මෝටර් රථයකින් රැගෙනවිත් එය තෙල්දෙණියේ ස්ථානයක දමා පලාගොස් ඇති බවටය.
ඒ අනුව තෙල්දෙණිය රෝහල අසල ස්ථානයක මෝටර් රථයක් තුළ නාඳුනන මළසිරුරක් ඇති බවට ඊයේ (17) පස්වරු 2ට පමණ තෙල්දෙණිය පොලිසියට නාඳුනන පුද්ගලයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබුණි.
පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ සිදුකළ පරික්ෂා කිරීමේදී අගුලුදැමූ මෝටර් රථයක් තුළ මළසිරුරක් තිබෙන අයුරු නිරීක්ෂණය කර තිබේ.
අනතුරුව පොලිසිය එම රථයේ දොර කඩා ඇයගේ සිරුර පිටතට ගෙන පරීක්ෂා කරනු ලැබීය.
එහිදී අනාවරණයවී ඇත්තේ අදාළ කාන්තාව අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියක් ලෙස සේවය කළ 33න් හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවය.
ඇය ඉකුත් ජුනි 3 වැනිදා සිට ජුනි 16 වැනිදා දක්වා නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිට ඇති බවටද පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
ඒ අනුව අදාළ හෝටලයේ CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී සිහිසුන්වී සිටින එම කාන්තාව ඇයගේ පෙම්වතා විසින් රැගෙන යන අයුරු පටිගතවී තිබේ.
මේ අතර, තෙල්දෙණිය පොලිස් ස්ථානයට ඇයගේ මෘතශරීරය පිළිබඳව දැනුම්දීම සිදුකර ඇත්තේ, මියගිය කාන්තාවගේ පෙම්වතා බවට සැලකෙන පුද්ගලයා විසින් බවද පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත.
කෙසේවෙතත් එම පුද්ගලයා මේ වනවිට අතුරුදන්ව ඇති අතර ඔහු සොයා නුවරඑළිය පොලිසිය විමර්ශන සිදුකරයි.
මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘතශරීරය, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තෙල්දෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මෙය මනුෂ්‍ය ඝාතනයක් ද නොඑසේනම් වෙනත් ආකාරයකින් සිදුවූ මරණයක් ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කරගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරයි.
