ජනපති ට්‍රම්ප් ඉන්දීය සංචාරයකට සැරසෙයි
June 18, 2026 01:12 pm
ප්‍රංශයේ පැවැත්වෙන G7 සමුළුව අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවකදී, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේ දී ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බවට පොරොන්දු වී තිබේ.
මෙය මෑතකාලීනව දෙරට අතර පැවති නොසන්සුන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි යහපත් අතට හැරීමේ සලකුණක් ලෙස සැලකේ.
එසේම ඉන්දියාව සහ අමෙරිකාව අතර නව වෙළෙඳ ගිවිසුමකට එළඹීමට ඉතා ආසන්න බවද ඔහු පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙහිදී අගමැති මෝදිව අගය කරමින් ජනපති ට්‍රම්ප් පවසා ඇත්තේ, ඔහු තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීමට ඉතා දක්ෂයෙකු බවත් ඔහුගෙන් බේරීම අපහසු කාර්යයක් බවත්ය.
අමෙරිකානු-ඉන්දීය ආරක්ෂක සබඳතා පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ට්‍රම්ප් කියා සිටියේ ඉන්දියාවට කිසියම් "ප්‍රහාරයක්" එල්ල වුවහොත් අමෙරිකාව ඒ වෙනුවෙන් අමෙරිකාව ඉන්දියාවට සහාය දක්වන බවය.
අගමැති මෝදීව පෙන්වමින් ඔහු පවසා ඇත්තේ, "යමෙක් මොහුට ප්‍රහාරයක් එල්ල කළහොත්, අපි එතන ඉන්නවා... හැබැයි වෙනත් අලුත් නායකයෙක් ආවොත් මට ඒ ගැන විශ්වාසයක් නැහැ" යනුවෙනි.
පසුගිය වසරේ ඉන්දීය භාණ්ඩ සඳහා බදු පැනවීමට ට්‍රම්ප් ගත් තීරණය නිසා දෙරට අතර සබඳතා පළුදු වී තිබුණි. එමෙන්ම, පසුගිය සතියේ ඔමාන් බොක්කේදී ඉරාන වරායන්ට පනවා තිබූ අමෙරිකානු සම්බාධක කඩ කළ බවට චෝදනා කරමින් ටැංකර් නෞකාවකට අමෙරිකානු හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් ඉන්දීය නාවිකයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීම මෙම තත්ත්වය තවත් උග්‍ර කළේය.
මෙම හමුවේදී අගමැති මෝදි විසින් හෝමුස් සමුද්‍ර සන්ධියේ සේවය කරන ඉන්දීය නාවිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුව ජනපති ට්‍රම්ප් වෙත සෘජුවම ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.
පසුගිය කාලයේ කාශ්මීර ගැටලුවට මැදිහත් වීමට ට්‍රම්ප් කළ ප්‍රකාශ ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබූ අතර, අමෙරිකාවේ ඇතැම් වීසා සීමා කිරීම් නිසාද ඉන්දීය වෘත්තිකයන් පීඩාවට පත්ව සිටියේය.
මෙම පසුබිම මැද, අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ට්‍රම්ප් පැනවූ ඇතැම් බදු "නීතිවිරෝධී" බව පවසමින් ඉවත් කිරීම නිසා දැනට බදු අනුපාත සියයට 10ක් දක්වා අඩු වී ඇත.
වෙළෙඳ ගිවිසුමේ අවසාන කටයුතු නිම කිරීම සඳහා ලබන සතියේදී දෙරටේ නිලධාරීන් නවදිල්ලියේදී හමුවීමට නියමිත බව සඳහන් වේ.
