රොමෝගේ සුපිරි ගෝලයෙන් මෙක්සිකෝව දෙවැනි වටයට

රොමෝගේ සුපිරි ගෝලයෙන් මෙක්සිකෝව දෙවැනි වටයට

June 19, 2026   10:18 am

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරක මෙක්සිකෝව සහ දකුණු කොරියාව අතර මෙරට වේලාවෙන් අද (19 ) උදෑසන අවසන් වූ තරගයෙන් ගෝල 1-0ක තියුණු ජයක් වාර්තා කිරීමට සත්කාරක මෙක්සිකෝ කණ්ඩායම සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමග මෙවර ලෝක කුසලාන තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ අදියර හෙවත් අවසන් 32 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ ප්‍රථම කණ්ඩායම බවට පත්වීමට ද මෙක්සිකෝවට හැකිවිය.

මෙක්සිකෝවේ Estadio Akron ක්‍රීඩාංගණයේ  46,000කට අධික ප්‍රේක්ෂක සහභාගිත්වයක් මැද පැවති මෙම තරගය, ආරම්භයේ සිටම කණ්ඩායම් දෙක අතර ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය. 

තරගයේ පළමු අර්ධය පුරා දෙපිලේම ආරක්ෂක වළලු දැඩිව ක්‍රියාත්මක වූ බැවින් කිසිදු කණ්ඩායමකට ගෝලයක් රැස් කිරීමට අවස්ථාවක් හිමි වූයේ නැත.

කෙසේ වෙතත් දෙවන අර්ධය ආරම්භ වී සුළු මොහොතකින්, එනම් 50වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ලුයිස් රොමෝ දකුණු කොරියානු ආරක්ෂක වළල්ල බිඳ දමමින් මෙක්සිකෝව වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය.

ඉන් අනතුරුව දකුණු කොරියානු ක්‍රීඩකයන් තරගයට අවතීර්ණ වීමට දැඩි උත්සාහයක නිරත වුවද, මෙක්සිකෝ ආරක්ෂක වළල්ල සාර්ථකව බිඳ දැමීමට ඔවුන්ට නොහැකි විය.

මෙම ජයත් සමග මෙක්සිකෝ කණ්ඩායම14වැනි ස්ථානයේ සිට ස්ථාන තුනක් ඉදිරියට පැමිණ 11වැනි ස්ථානයට පැමිණියේය.

දකුණු කොරියාව මේ වනවිට එම ශ්‍රේණිගත කිරීම්හි 24වැනි ස්ථානයේ පසුවේ.

මෙක්සිකෝව මේ වනවිට ක්‍රීඩාකළ තරග දෙකම ජයගෙන 'A'කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ අත්පත්කරගෙන සිටියි.