රජයේ ආයතනවල නිල මුද්‍රා නීතිවිරෝධී ලෙස සැකසූ සැකකරුවන් රිමාන්ඩ්
June 19, 2026 01:24 pm
කොළඹ ප්‍රධාන මහේස්ත්රාත්වරයාගේ සහ රජයේ ආයතනවල නිල මුද්‍රා කූඨ ලෙස සකස් කොට සිය සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු ජූලි මස 03 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ප්‍රියන්ත රත්නායක ඇතුළු ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සේවකයක් ලෙස කටයුතු කළ විජේවීර පටබැඳිගේ කුෂාන් හා සුදත් ඉන්දික යන අය මෙසේ රිමාන්ඩ් භාරයට පත් කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව පලමු සැකකරුගේ නිවස පරීක්ෂා කළ බව සඳහන් කළේය.
එහි තිබී "මහේස්ත්‍රාත් වෙනුවෙන් රෙජිස්ට්‍රාර් කොළඹ" ලෙස සකසන ලද මෙම අධිකරණයේ නිල මුද්‍රාවක් සොයා ගත් බවත් ඊට අමතරව ව්‍යාජ ලෙස සකස් කරන ලද ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ, නොතාරිස්වරුන්ගේ, වෛද්‍යවරුන්ගේ, විදුහල්පත්වරුන්ගේ, මහ නගර සභා හා ප්‍රාදේශීය සභා නිලධාරීන්ගේ ඇතුළු රාජ්‍ය ආයතන වල නිල මුද්‍රා විශාල සංඛ්‍යාවක් සොයා ගත් බවත් සඳහන් කළේය.
මෙම සැකකරු සන්තකයේ තිබී සොයා ගත් රජයේ නිල මුද්‍රා තොගය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශය වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස මෙහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පලමු සැකකරුගේ අනුදැනුම මත දෙවන හා තුන්වන සැකකරුවන් විසින් දෙල්කඳ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ තැන්පත් කර ඇති ඉඩම් මුල් ඔප්පු සොරාගෙන පලමු සැකකරුට රුපියල් ලක්ෂයකට අධික මුදලකට විකිණීම සිදු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් එම නිලධාරින් පැවසුවේය.
මෙම සැකකරුවන් මේ ආකාරයට සංවිධානාත්මක ආකාරයට කටයුතු කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉඩම් ගණනාවකට ඔප්පු සකසා ඇති බවට විමර්ශනවලදී සැකකළ හැකි කරුණු අනාවරණය වී ඇති බවත් විමර්ශන අවසන් වී නොමැති බැවින් මොවුන් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම සැකකරුවන් ජුලි 3 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.
