ශ්‍රී ලංකා ඉනිම ලකුණු 98කට සීමාවෙයි

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 98කට සීමාවෙයි

June 21, 2026   04:44 pm

එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහි තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 98ක් පමණි.

තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් යම් තරමක හෝ සටනක් දියත් කිරීමට සමත් වූයේ නිලක්ෂිකා ද සිල්වා සහ කවිෂා දිල්හාරි පමණි. 

එහිදී නිලක්ෂිකා ද සිල්වා පන්දු 26කදී ලකුණු 30ක් සහ කවිෂා දිල්හාරි පන්දු 20කදී ලකුණු 21ක් රැස් කළහ. 

සෙසු කිසිදු පිතිකාරිණියකට ලකුණු අතරට පිවිසීමට කොදෙව් පන්දු යවන්නියන් ඉඩ ලබා නොදුන්හ.

ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය අතිශය වැදගත් වේ.

ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව මේ වනවිට 'B' කාණ්ඩයේ (Group 2) 4 වැනි ස්ථානයේ පසුවන අතර, මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ජයගෙන සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ. 

ශ්‍රී ලංකාව මූලික වටයේ ක්‍රීඩා කරන තෙවැනි තරගය මෙයයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 99කි.