'Toy Story 5' සිනමා ඉතිහාසය අලුත් කරයි

'Toy Story 5' සිනමා ඉතිහාසය අලුත් කරයි

June 22, 2026   04:43 pm

ඩිස්නි (Disney) සමාගමේ "ටෝයි ස්ටෝරි 5" සජීවීකරණ චිත්‍රපටය, තිරගත කිරීම ආරම්භ කළ පළමු සති අන්තයේදීම අමෙරිකානු ඩොලර් මිලියන 300කට වඩා වැඩි වාර්තාගත ගෝලීය ආදායමක් උපයා ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙය මෙම සිනමා මාලාවේ චිත්‍රපටයක් ආරම්භක සතියක් අවසන ලැබූ ඉහළම ආදායමයි.

ජුනි 19 වැනිදා ලොව පුරා තිරගත කිරීම ආරම්භ වූ මෙම චිත්‍රපටයේ, වුඩී (Woody),ජෙසී (Jessie)සහ බස් ලයිටියර් (Buzz Lightyear) යන ජනප්‍රිය සෙල්ලම් බඩු චරිතවලට මෙවර මුහුණ දීමට සිදුවන්නේ "ටැබ්ලට් පරිගණකයක්" (Tablet computer) සමගයි.

පසුගිය කාලයේ ඩිස්නි සහ පික්සාර් (Pixar)සමාගම් නිෂ්පාදනය කළ ඇතැම් චිත්‍රපට ආදායම් අතින් අසාර්ථක වුවද, ටෝයි ස්ටෝරි 5 චිත්‍රපටයේ මෙම සාර්ථකත්වය ඔවුන්ට විශාල ජයග්‍රහණයක් වී තිබේ.

මෙය 2026 වසරේ මෙතෙක් වාර්තා වූ දෙවැනි විශාලතම ආරම්භක සති අන්ත ආදායම වන අතර, පළමු ස්ථානයේ පසුවන්නේ අමෙරිකානු ඩොලර් බිලියනයකට වඩා උපයා ඇති "ද සුපර් මාරියෝ ගැලැක්සි මූවී" (The Super Mario Galaxy Movie) චිත්‍රපටයයි.

ටෝයි ස්ටෝරි 5 චිත්‍රපටය නිෂ්පාදනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 250ක් වැය කර ඇති අතර, ප්‍රචාරණ කටයුතු ඇතුළු අනෙකුත් වියදම් පියවා ගැනීම සඳහා එය අවම වශයෙන් ඩොලර් මිලියන 500ක ආදායමක් ලැබිය යුතු බව සඳහන් වේ.

1995 වසරේ ආරම්භ වූ මෙම සිනමා මාලාව, ලොව පුරා සිනමා ලෝලීන් අතර අතිශය ජනප්‍රිය එකක් වන අතර එහි 3 වැනි සහ 4 වැනි චිත්‍රපටද ඩොලර් බිලියනය ඉක්මවූ ආදායම් වාර්තා තබා තිබුණි.