පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්
June 23, 2026 11:26 am
විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු නැගිට මීට සුළු මෙහොතකට පෙර කථානායකවරයාගෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියේය.
ඒ අනුව කථානායකවරයා විසින් ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන් කරුණු විමසීමේදී සභා නායක බිමල් රත්නායක අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා එකඟ නොවන බවත් අවශ්‍ය නම් අදාල කරුණ සම්බන්ධයෙන් ඡන්දයක් විමසීමට එකඟ වන බවත්ය.
ඒ සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය විරෝධය දක්වමින් අදහස් ප්‍රකාශ කිරීමට පටන් ගැනීමටත් සමඟ පර්ලිමේන්තුව තුළ මතගැටුමක් ආරම්භ විය.
හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද ලිපියක් අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී කථානායකවරයා වෙත භාරදෙනු ලැබීය.
ඒ අධිකරණය ක්ෂේත්රයේ පැන නැඟී ඇති ව්‍යූහාත්මක ප්‍රශ්න සඳහා විසඳුම් වහාම සම්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු බව පෙන්වා දෙමිනි.
ඉන් පසුව පාර්ලිමේන්තුව පැවැත්වෙන අතරවාරයේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විසින් අදාළ කරුණ සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියේය.
එහිදී මෙම උණුසුම් තත්ත්වය හට ගත් අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එම අවස්ථාවේදී අදහස් දක්වමින් පැවසුවේ විනිසුරුවරුන් 8 දෙනෙකුගේ පවතින පුරප්පාඩු සහ විනිසරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙම විවාදය ඉල්ලා සිටින බවය.
