දේශගුණික අවදානම හමුවේ ආරක්ෂිත වී තොග පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි - ජනපති
June 23, 2026 05:27 pm
ඇති වියහැකි දේශගුණික තත්ත්වයන් මත ආරක්ෂිත වී තොග පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
එය සාමාන්‍ය ක්‍රියාවලිය තුළ නොව, විශේෂ අවධානයට ලක්විය යුතු කරුණක් බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවත්වා තිබුණි.
එහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් දෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම පසුගිය වසරේ යල කන්නයේ මිලදී ගත් වී තොග තවමත් ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොළට යොමු නොවීම ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ගබඩා නිදහස් කර ගැනීම වෙනුවෙන් ගෙන ඇති පියවර සහ ඒ සඳහා වන යෝජනා පිළිබඳවද විමසා තිබේ.
එමෙන්ම මෙම යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර දිස්ත්‍රික් මට්ටමින් පවතින ගබඩාවල තත්ත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කර ඇති අතර ගබඩාවල තත්ත්වය සහ ආරක්ෂිත තොග පිළිබඳව නිවැරදි දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම මගින් ඉදිරියේදී මතුවිය හැකි මෙවැනි ගැටලු මගහරවා ගත හැකි බවට ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත.
ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
