භෞත චිකිත්සකවරියගේ ඝාතන සැකකරුට සහාය දුන් ප්‍රා.ස රියදුරෙක් අත්අඩංගුවට
June 24, 2026 12:38 pm
තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුට සහාය දැක්වූ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නුවරඑළිය පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කුණ්ඩසාලේ ප්‍රදේශයට ගොස් අද (24) දින මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බව නුවරඑළිය කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරි 01 චන්දන බස්නායක මහතා පැවසීය.
ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සැකකාර රියදුරුගේ මිතුරෙකු බවත්, සැකකරුගේ දුරකථන දත්ත ඔස්සේ රියදුරාව අත්අඩංගුවට ගත් බවත් සහකාර පොලිස් අධිකාරිවරියා කියා සිටියේය.
තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු හා ඔහුගේ බිරිඳ යාපනයේදී අද අලුයම අත්අඩංගුවට ගැණුනි.
ඒ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකක සිදුකළ මෙහෙයුමකදීයි.
තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී අම්පාර රෝහලේ භෞතචිකිත්සකවරියකගේ මළ සිරුරක් ඉකුත් 17 වැනිදා තෙල්දෙණිය පොලිසිය විසින් සොයාගනු ලැබීය.
ශම්‍යා දර්ශනී නමැති 34 හැවිරිදි , ඇයගේ පෙම්වතා විසින් මළ සිරුර මෝටර් රථය තුළ දමා පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඒ අනුව දින 7ක් පුරා පොලිසිය සැකකරු සොයා පුළුල් විමර්ශනයක් සිදුකර තිබුණි.
ඒ අතරතුරදී පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස්මත වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ සෘජු මෙහෙයවීම යටතේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ආර්.එම්.ආර් චතුරංග මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඊයේ දිනයේදී සැකකරු ගැවසුණු ප්‍රදේශවල ආවේෂණ කටයුතු ආරම්භ කළේය.
ඊට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තාක්ෂණික සහය ද ලබාගෙන තිබේ.
එහිදී අනාවරණ වී ඇත්තේ, සැකකරු වැල්වත්ත ප්‍රදේශයේ සිට යාපනය දෙසට ගමන්කරමින් සිටින බවය.
ඒ අනුව යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ඒ පිළිබඳව දැනුම්දීමෙන් අනතුරුව ඔවුන් විසින් සැකකරු ගමන් කරමින් සිටි බස් රථය චාවකච්චේරිය, කයිතඩි ප්‍රදේශයේදී නවත්වා තිබේ.
එහිදී සිදුකළ පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ, සැකකරු සමග ඔහුගේ බිරිඳ හා දරුවකුද සිටින බවය.
සැකකරු මුව ආවරණයක් පැළඳ සිට ඇති අතර ඔහුගේ බිරිඳ මුස්ලිම් කාන්තාවක් ලෙස වෙස්වලාගෙන සිට ඇති බව පොලීසිය පැවසුවේය.
එම අවස්ථාවේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී ඔහු පවසා ඇත්තේ, තමන් යාපනයේ සිට වව්නියාවට ගොස්, කුරුණෑගලට ගොස් එහි සිටින තම අනෙක් දරු දෙදෙනා බලා පොලීසියට භාරවීමට සූදානමින් සිටි බවය.
කෙසේවෙතත් ඔහු යාපනයෙන් සිය පවුලද සමග ඉන්දියාවට පලායෑමට සූදානමින් සිටි බවට සැකකරන බව පොලීසිය සඳහන් කළේය.
ඒ අනුව මේවන විට ඔහුව යාපනයේ සිට නුවරඑළිය පොලීසිය වෙත වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් රැගෙන එමින් සිටී.
