දැරණියගල පොලිසිය හා තරුණයින් අතර ඇතිවූ ගැටුම ගැන විමර්ශනයක්
June 24, 2026 04:07 pm
දැරණියගල පොලීසිය හා තරුණයින් පිරිසක් අතර පසුගියදා ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන බවත්, ඊට අදාළ සියලු පාර්ශ්වයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණායක මහතා මතු කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙම සිදුවීමේදී පොලිසිය පාර්ශවයෙන් යම් වැරැද්දක් සිදුව ඇත්නම් ඔවුන්ට එරෙහිවද දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවය.
එමෙන්ම අනාගතයේදී මෙවැනි සිදුවීම් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බවද හෙතෙම පැවසීය.
ලද නිර්නාමික පෙත්සමකට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට වූ තොරතුරක් මත අවිස්සාවේල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පසුගිය ජුනි 19වැනිදා දැරණියගල නූරි පාරේ පිහිටි නිවසක් වැටලීමට ගොස් තිබුණි.
එහිදී මත්ද්‍රව්‍ය ද සමඟින් අදාළ නිවසේ සිටි තරුණයන් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ නමුත් එම අවස්ථාවේදී තමන් සතුව මත්ද්‍රව්‍ය නොමැති බව පවසමින් තරුණයන් පොලිසියට චෝදනා එල්ල කර ඇති අතර, අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනෙකු මුදාහරින ලෙස බලකරමින් එහි සිටි පිරිසක් සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරියෙකුට තර්ජනය කර තිබේ.
එහිදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පොලිස් නිලධාරියා විසින් සැකකරුවෙකුගේ මාංචු ගලවා ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, ඉන් අනතුරුව පිරිස එකතු වී පොලිස් නිලධාරීන්ට පන්න පන්නා පහරදී ඇති බව වාර්තා විය.
පසුව පොලිස් නිලධාරියෙකුගේ මුදල් පසුම්බියක් තුළ 'අයිස්' මත්ද්‍රව්‍ය ඇති බව පවසමින් තරුණයෙකු ප්රකෝපකාරී ලෙස හැසිරී ඇති අතර, පසුව එම මුදල් පසුම්බිය දැරණියගල පොලිසියට භාරදී තිබේ.
එහිදී පහරදුන් පිරිස විසින් පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන්වද මුදාගෙන තිබුණි.
පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් සිව්දෙනා ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇත.
කෙසේ නමුත් පොලිස් රාජකාරීයට බාධා කිරීමේ චෝදනාව යටතේ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරණියගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
